සුසන්තිකාගේ උන්මත්තක ප්‍රකාශවලට ක්‍රීඩා අමාත්‍යංශයෙන් නියම පිළිතුරක්

Spread the love

යම් ආර්ථික අපහසුතා ඇත්නම් සුසන්තිකා ජයසිංහ මහත්මිය විසින් කළ යුතුව ඇත්තේ තම පදක්කම වෙන්දේසි කිරීම නොවන බව ක්‍රීඩා අමාත්‍යංශය පවසයි.

වැඩබලන අමාත්‍යංශ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ රජය විසින් ඇය වෙත ලබාදුන් තනතුරට අදාළ අවශ්‍යතා සම්පූර්ණ කර ඉන් ගෞරවන්විත වැටුපක් ද ලබමින් ක‍්‍රීඩාවටත් මවුබිමටත් ලබාදිය යුතු සේවය නොපැකිළිව ලබාදීම ඇය විසින් කළ යුතුව ඇති බවයි.

මේ දිනවල විවිධ ජනමාධ්‍ය ඔස්සේ සුසන්තිකා ජයසිංහ මහත්මිය ක‍්‍රීඩා අමාත්‍යාංශයට එල්ල කරන චෝදනා සම්බන්ධව මෙසේ කරුණු පැහැදිලි කරමි. 2000 වසරේදී ඔලිම්පික් පදක්කමක් දිනාගනිමින් ජයසිංහ මහත්මිය මෙරටට අත්කර දුන් කීර්තිය පළමුව ගෞරවන්විතව සිහිපත් කරමි. එදා සිට මේ දක්වා පැවති රජයන් විසින් සුසන්තිකා ජයසිංහ මහත්මිය වෙත මුදල් ත්‍යාග, නිවාස, රථ වාහන ආදි විවිධ වූ ප‍්‍රදානයන් ලබාදී ඇත. තවද ජයසිංහ මහත්මිය විසින් ප‍්‍රකාශයට පත්කරන ලද ඇයගේ චරිතාපදානය ප‍්‍රකාශයට පත්කිරීම සඳහා අප අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීම අනුව ගරු ක‍්‍රීඩා අමාත්‍යතුමන්ගේ අනුමැතිය පරිදි රුපියල් ලක්ෂ එකොළහක මුදල් ප‍්‍රදානයක් ද පසුගිය වසරේදී ඇය වෙත ලබාදී ඇත. එවන් තත්ත්වයක් තුළ පවා ඇය පත්ව ඇතැයි කියන ආර්ථික අපහසුතා පිළිබඳව ද කනගාටු වෙමි.

ප‍්‍රථමව සඳහන් කළ යුත්තේ සුසන්තිකා ජයසිංහ මහත්මිය විසින් පවසන ආකාරයේ සේවයෙන් ඉවත් කිරීමක් ක‍්‍රීඩා අමාත්‍යාංශය විසින් මෙතෙක් සිදුකර නොමැති බවයි. ඇයට හිමි අප්‍රේල් මාසයට අදාළ ගෙවීම්හි යම් තාවකාලික පමාවක් සිදුව ඇති අතර ඊට අදාළ හේතු මෙම ලිපියේ මතු දැක්වෙනු ඇත.

මීට ඉහත රජය සමයේ ජයසිංහ මහත්මිය ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ උපදේශිකාවක් ලෙස පත්කර තිබූ අතර 2015 වසරේදී නව රජය පත්වන විට ඇගේ සේවය අවසන් වී තිබිණි. නව රජයේ ක‍්‍රීඩා අමාත්‍යවරයා ලෙස නීතිඥ දයාසිරි ජයසේකර මහතා වැඩ භාරගැනීමෙන් පසු මෙම තත්ත්වය වෙනස් කර සුසන්තිකා ජයසිංහ මහත්මියගේ සේවය ගෞරවන්විතව ලබාගැනීමට අවශ්‍ය පියවර ගැණිනි. ඒ අනුව කුමන අමාත්‍යවරයෙක් ක‍්‍රීඩා අමාත්‍ය ධූරය දැරුව ද ජයසිංහ මහත්මියට වයස අවුරුදු 60 වනතුරු රු.60,000ක මාසික දීමනාවක් සහ රු.15,000ක ඉන්ධන දීමනාවක් ලබාදීමට අපේක්ෂිත අනුමැතීන් ඉල්ලා 2016.05.19 වන දින කැබිනට් මණ්ඩලය වෙත ක‍්‍රීඩා අමාත්‍යතුමන් විසින් සංදේශයක් ඉදිරිපත් කරනු ලැබිණි. එම සංදේශය ප‍්‍රකාරව කැබිනට් අනුමැතිය හිමිවූයේ 2016.07.01 දින සිට වසරින් වසර දීර්ඝ කිරීමට යටත්ව 2020 වසර දක්වා ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ජාත්‍යන්තර තරග සඳහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තෝරාගැනීමේ හා පුහුණු කිරීමේ උපදේශක වශයෙන් ජයසිංහ මහත්මියව පත්කිරීමටයි. මේ වෙනුවෙන් රජයේ අමාත්‍යාංශයක උපදේශකවරයෙකු වෙත කාර්ය සාධනය පදනම් කරගෙන පිරිනැමෙන රුපියල් 60,000ක වැටුප් ගෙවීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිණි.

මීට අදාළ පත්වීම් ලිපිය ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් 2016.07.01 දින සිට බලපැවැත්වෙන පරිදි 2016.08.12 වන දින ඇය වෙත යවා ඇති අතර එහි 08 වන ඡේදය යටතේ ”ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් විසින් ඔබ වෙත පවරනු ලබන රාජකාරී ඔබ විසින් ඉටුකළ යුතුය. සෑම මසකම පළමු සතියේදී මාසික ඉදිරි වැඩසටහන ලේකම් වෙත ඉදිරිපත් කර අනුමත කරගත යුතු අතර මාසය අවසානයේදී කළ වැඩසටහන පිළිබඳ වාර්තාව ද ලේකම් වෙත ඉදිරිපත් කළ යුතුය”.

09 වන ඡේදය යටතේ ”තවද සෑම වසරක් අවසානයේදීම එම වර්ෂය තුළ ඔබ විසින් ඉටු කරන ලද කාර්ය භාරය සම්බන්ධව වාර්තාවක් හා ඉදිරි වර්ෂයේදී සිදුකිරීමට අපේක්ෂිත කාර්යභාරය පිළිබඳ වාර්තාවක් ද ලේකම් වෙත ඉදිරිපත් කළ යුතුය”. බවට සඳහන්ව ඇත.
මෙම තනතුරෙහි පිහිටා සේවය කිරීමට කොළඹ 07, ටොරින්ටන් ක‍්‍රීඩා පිටියේ පිහිටි ක‍්‍රීඩා සංගම් සඳහා වෙන්කර ඇති ගොඩනැඟිල්ලේ 03 වන මහළෙහි 08 වන කාමරය ද ඇයට වෙන්කර ලබාදුණි.

සුසන්තිකා ජයසිංහ මෙන්ම දක්ෂ තවත් මලල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් බිහිකර ගැනීමේ අරමුණු පෙරදැරිව ගරු අමාත්‍යතුමන් විසින් මලල ක‍්‍රීඩා සම්මේලනයේ හිටපු සභාපති සුගත් තිලකරත්න මහතාව සහ ජයසිංහ මහත්මියව අමාත්‍යාංශයට කැඳවා ඒවන විට පැවති මලල ක‍්‍රීඩා සංචිත 3හි පුහුණුකිරීම් හා උපදේශන සහය ලබාදෙන ලෙස ඇයගෙන් ඉල්ලා සිටින ලදී. නමුත් මේ මොහොත වනතුරුත් ජයසිංහ මහත්මිය එම සේවය මෙරට මලල ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය වෙත ලබාදී නැත.

2016 ජුලි මස සිට 2017 මාර්තු දක්වා ඇය වෙත ක‍්‍රීඩා අමාත්‍යාංශය විසින් අඛණ්ඩව වැටුප් ගෙවීම සිදුකර ඇත. නමුත් උක්ත ඡේදවල අවශ්‍යතා සම්පූර්ණ කිරීමට සුසන්තිකා ජයසිංහ මහත්මිය දිගින් දිගටම අපොහොසත් වී ඇත. 2017 ජනවාරි මාර්තු කාලසීමාවේ ජයසිංහ මහත්මිය රෝගීව සිටි අතර සානුකම්පිතව සලකා එම කාල සීමාවට අදාළ වැටුප් ගෙවීමට ද අප අමාත්‍යාංශය කටයුතු කර ඇත. එවන් තත්ත්වයක් තුළ පවා ඉහත දැක්වූ 08වන ජේදයේ අවශ්‍යතා දිගින් දිගටම ඉටු නොකිරීම මත 2017 අප්‍රේල් මාසයේ සිට ඉදිරි ගෙවීම් සිදුකිරීම පිණිස අදාළ වාර්තාවන් මාසිකව ඉදිරිපත් කරන ලෙස 2017 අප්‍රේල් 26 වන දින ජයසිංහ මහත්මිය වෙත ලිපියක් යවමින් අමාත්‍යංශ ලේකම්වරයා විසින් දැනුවත් කර ඇත.

රජයේ අමාත්‍යාංශයක් ලෙස සුසන්තිකා ජයසිංහ මහත්මිය වෙත අප ගෙවූ දීමනාවන් යනු මුළුමනින්ම මෙරට මහජනතාවගේ මුදල්ය. මහජන මුදල්වලට නිසි වටිනාකමක් ලැබෙන අයුරින් ජයසිංහ මහත්මිය වෙත ලබාදීම අප සතු වගකීමක් වන අතර එම මුදලට ලබාදිය යුතු සේවාව මෙරට ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය වෙත නිසි පරිදි ලබාදීම ජයසිංහ මහත්මිය සතු වගකීමකි. ඇය විසින් සිදුකරනු ලබන කාර්යභාරය පිළිබඳව තැකීමක් නොකර, අමාත්‍ය මණ්ඩල තීරණ ප‍්‍රකාරව කාර්ය සාධන වාර්තා ලබා නොගෙන මූල්‍ය දීමනාවන් ලබාදීමට අපට කිසිඳු නෛතික හෝ සදාචාර හිමිකමක් නොමැත.

තමන් යම් ආර්ථික අපහසුතාවක පසුවේ නම් සුසන්තිකා ජයසිංහ මහත්මිය විසින් කළ යුතුව ඇත්තේ තම පදක්කම වෙන්දේසි කිරීම නොව, රජය විසින් ඇය වෙත ලබාදුන් තනතුරට අදාළ අවශ්‍යතා සම්පූර්ණ කර ඉන් ගෞරවන්විත වැටුපක් ද ලබමින් ක‍්‍රීඩාවටත් මවුබිමටත් ලබාදිය යුතු සේවය නොපැකිළිව ලබාදීමයි. ඒ වෙනුවෙන් ක‍්‍රීඩා අමාත්‍යාංශයේ දොරටුව තවදුරටත් විවෘතව පවතී. ඇය වැනි තවත් අතිදක්ෂ ක‍්‍රීඩා තරුවක් හෙට දිනයේ අප මවුබිමෙහි බිහිකර ගැන්මට, ක‍්‍රීඩා අමාත්‍යාංශය හා එක්ව තම මෙහෙවර ලබාදෙන මෙන් සුසන්තිකා ජයසිංහ මහත්මියගෙන් ගෞරවන්විතව ඉල්ලා සිටිමි.

RSL

Related Posts