මහාධිකරණය හමුවේ නාමල්ට අධි චෝදනා 11 ක් ගොනුවෙයි

Spread the love

රුපියල් මිලියන තිහක මුදලක් අයුතු ලෙස උපයා ගැනීම මඟින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතට ගැනෙන වැරැදි සිදු කළ බවට අධිචෝදනා 11 යටතේ නීතිපතිවරයා පවරා ඇති නඩුවට ප්‍රථම වරට මහාධිකරණය හමුවේ පෙනී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් ඊයේ (06) අධිචෝදනා පත්‍ර භාර දෙන ලදී.

ඊයේ (06) අධිකරණය හමුවේ පෙනී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනාගේ ඇඟිලි සලකුණු ලබා ගැනීමට නියෝග කළ විනිසුරුවරයා ඔවුන් මේ මස 28 වැනි දා තෙක් මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියම කරන ලද පෙර ඇප මත මුදා හැරීමට ද නියෝග කළේය.

විත්තිකරුවන් 06 දෙනකුට එරෙහිව නීතිපතිවරයා මේ නඩුවෙන් අධිචෝදනා නඟා ඇති අතර, අධිකරණය නිකුත් කළ සිතාසි මත ඊයේ (06) අධිකරණය හමුවේ පෙනී සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, සුජානි බෝගොල්ලාගම හා නිත්‍යා සේනානි සමරනායක යන විත්තිකරුවන් පමණි.

නඩුවේ දෙවැනි විත්තිකරු වූ ඉන්දික ප්‍රභාත් කරුණාජීව හා ඔරහෙලා ඉරේෂා සිල්වා විදේශගතව ඇති බැවින් ඔවුනට සිතාසි බාරදීමට නොහැකි බවට සිතාසි වාර්තා හා ඔවුන් විදේශගතව පැමිණ නැති බව තහවුරු කිරීමට ගුවන් ගමන් වාර්තා ද අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

මේ දෙවැනි හා සිවුවැනි විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සම්පත් මෙන්ඩිස් හා නීතිඥ ප්‍රේමනාත් දොළවත්ත යන මහත්වරු පවසා සිටියේ විදේශගතව සිටින මේ විත්තිකරුවන් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටීමට තමනට බලය පවරා ලිපි ‍ලබාදී ඇති බවයි.

අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු එම ලිපි විනිසුරුවරයා විසින් බාර ගන්නා ලදී.

විත්තිකරුවන් හට ඇප නියම කිරීම සඳහා නඩුව ස්ථිර විනිසුරුවරයා ඉදිරියේ කැඳවීමට මේ 28 වැනිදාට දින ලබා දුන් විනිසුරුවරයා එදින තෙක් විත්තිකරුවන් මහේස්ත්‍රාත් අධිකරණය ඔවුනට නියම කළ පෙර ඇප වූ රුපියල් ලක්ෂයක මුදල් හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇපකරුවන් සිවු දෙනකුත් ඇප මතම මුදා හැරීමට ද නියෝග කළේය.

අධිකරණය හමුවේ පෙනී නොසිටි ඉන්දික ප්‍රභාත් කරුණාජීව, ඔරහෙලා ඉරේෂා සිල්වා හා නඩුවේ හයවැනි විත්තිකරු වූ සී/ ස ගවර්ස් කෝපරේට් සර්විස් (පුද්ගලික) සමාගම සම්බන්ධව ඉදිරි පියවර ගැනීම ද විනිසුරුවරයා විසින් මේ මස 28 වැනිදාට කල් තබන ලදී.

2013 ඔක්තෝබර් මස 01 දින හා 2014 අගෝස්තු මස 31 අතර කාලයේ දී කොළඹ දී පැමිණිල්ල නොදත් අන් අය සමඟ එක්වී රුපියල් මිලියන තිහක් අයුතු ලෙස උපයා ගැනීමෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතට ගැනෙන වැරැදි සිදු කිරීම, ඒ සඳහා ආධාර අනුබල දීම ඇතුළු අධිචෝදනා 11ක් යටතේ විත්තිකරුවනට එරෙහිව නීතිපතිවරයා මේ නඩුව පවරා ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් සී / ස ගවර්ස් කෝපරේට් සර්විසස් (පුද්ගලික) සමාගම වෙනත් සමාගමක් සමඟ සිදු කළ ගනුදෙනුවක දී මේ රුපියල් මිලියන තිහක මුදල අයුතු ලෙස උපයාගෙන ඇති බව චෝදනාවන්හි සඳහන් වෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ, අනිල් සිල්වා යන මහත්වරු සමඟ නීතිඥවරු මඬුල්ලක් පෙනී සිටියහ.

ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ හංස අබේරත්න මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

නඩුව නැවත කැඳවීම මේ මස 28 වැනිදාට කල් තැබුණි.

RSL

Related Posts