මුදල් ඇමැති/ව්‍යාපාරික රවි රේගුව විනාශ කරයි?

Spread the love

ravi-480

වත්මන් රජයේ මුදල් අමාත්‍යවරයාගේ ක්‍රියාකලපය හේතුවෙන් රටට සිදුවන බරපතල මූල්‍ය පාඩු සහ නොකටයුතු පිළිබඳව රේගු නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කර ඇත.

වත්මන් රජයේ බරපතල ම ආචාරධාර්මික නොවන ඇමැති ධුරය හිමි ව්‍යාපාරික මුදල් ඇමැතිවරයා විසින් ගනු ලැබූ තීන්දු නිසා යහපාලනය රෙද්ද අස්සෙන් බේරුණු අවස්ථා කිහිපයක් අපි රීඩ් ශ්‍රී ලංකා තුළින් දිගින් දිගට ම වාර්තා කළෙමු. සිද්ධ වුණු දෙයක් නම් නැත ද අපේ වගකීම අපි ඉටු කරන්නෙමු. දැන් සිදු ව ඇත්තේ මේ අකටයුතු කම් ඉවසා ගත නොහී රේගු නිලධාරීන් ම සටනට බැස තිබීම ය.

මතු දැක්වෙන්නේ රේගු නිලධාරීන්ගේ සංගමය නිකුත් කර ඇති නිවේදනයෙන් කොටසකි.

මුදල් අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්‌ඩල සංදේශයක්‌ ඉදිරිපත් කරමින් රටේ ආදායම් එකතු කරනු ලබන ප්‍රධානතම දෙපාර්තමේන්තු 04 වන රේගු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ තක්‌සේරු දෙපාර්තමේන්තුව යන ආයතන වල ක්‍රියාදාමයන් නියාමනය සහ විමර්ශනයට යෑයි කියමින් නිලධාරීන් පිරිසකගෙන් යුත් කණ්‌ඩායමක්‌ නිර්මාණය කිරීමට සැරසෙන බවට අපට දැනගන්නට ලැබී ඇත. සාමාන්‍ය අමාත්‍ය මණ්‌ඩල සංදේශ ඉදිරිපත් කරනු ලබන ක්‍රමවේදයෙන් බැහැර වෙමින් ඉතා සූක්‌ෂ්මව සහ රහසිගතව අදාළ මුදල් අමාත්‍යාංශ අංක MF/06/100/2016/16 සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශ අංක 16/0215/719/010 දරන අමාත්‍ය මණ්‌ඩල පත්‍රිකාව සකස්‌ කොට ඇති අතර එය පෙබරවාරි මස 24 වන දින අමාත්‍ය මණ්‌ඩල කමිටුව වෙත ඉදිරිපත් කිරීමට යෝජිත බවද අපට දැනගන්නට ලැබී ඇත.

පසුගිය කාලය පුරා පුවත් මැවීමට සමත්වූ අදටත් පාර්ලිමේන්තු විවාද වලදී පවා ප්‍රධානතම මාතෘකාවක්‌ වී ඇති ප්‍රාඩෝ වාහන සිද්ධිය සම්බන්ධව වාහන ආනයනකරුවන් පිනවීම උදෙසා තීන්දු තීරණ ලබාදුන් මුදල් අමාත්‍යවරයා සහ තමන් විසින් අදාළ මුදල් රජයට උපයාදුන් බව උදම් ඇනූ රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා අදටත් අදාළ වාහන පිළිබඳ විමර්ශන කටයුතු සිදුකළ නිලධාරීන්ට තුති පුද කිරීමක්‌වත් සිදුකර නොමැත. අදාළ සිද්ධියෙන් පසු වාහන පිළිබඳව විමර්ශන කටයුතු කිරීම පිළිබඳව රේගු නිලධාරීන්ට තහංචි පැනවූ අතර ඉන් රජයට අහිමිවී ගිය ආදායම රුපියල් බිලියන ගණනකි. එපමණක්‌ නොව රේගු නිලධාරීන් විසින් පිටරටින් ආනයනය කරනු ලබන සුඛෝපභෝගී වාහන සහ ජීප් රථ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරමින් තිබූ විමර්ශන කටයුතු අත්හිටුවීමට නියෝග ලබාදුන් අතර, එමගින්ද රජයට අහිමිවී ගිය ආදායම අතිවිශාලය. තවද ශ්‍රී ලංකාවට ගෘහ විදුලි උපකරණ ආනයනය කරනු ලබන ප්‍රධානතම පෞද්ගලික ආයතන දෙකකට එරෙහිව ලියාපදිංචි කරන ලද විමර්ශන කටයුතු පැය 24 ක්‌ තුළදී අත්හිටුවා දැමීමට රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නියෝග ලබාදුන් අතර එමගින් රජයට අහිමි වී ගිය ආදායම පවා තක්‌සේරු කිරීමට නොහැකිවිය.

මේ මොහොත වන විට රේගු නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් අවම වශයෙන් රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා හෝ නොවිමසා මුදල් අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්‌ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත රහසිගත අමාත්‍ය මණ්‌ඩල සංදේශය ඉදිරිපත් කිරීම වැළැක්‌වීම අරමුණු කරගෙන රේගු ආනයන අංශයේ රාජකාරි වලින් බැහැරවීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වී ඇත. කෙසේ වෙතත් ගුවන් තොටුපළ, මගී ගමන් සේවා හා ගමන් බඩු, අපනයන, තැපැල් තක්‌සේරු හා රේගු නිවාරණ ආදී සෘජුව ජනතාවට බලපාන අංශ වල සාමාන්‍ය රේගු රාජකාරි පැවැත්වේ. අදාළ ගැටලු සඳහා ලැබෙන ආණ්‌ඩුවේ ප්‍රතිචාර අනුව එම අංශවල ඉදිරි ක්‍රියාමාර්ග පසුව තීරණය කරනු ලැබේ.

මුදල් ඇමැති ව්‍යාපාරිකයාගේ යහපාලනය මෙබඳු ය.

RSL

Related Posts