රවිරාජ් නඩුවෙන් නිදහස් වූ ඝාතකයින් යළි සොයයි

Spread the love

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතන නඩු තීන්දුව මගින් නිදොස් කොට නිදහස් කර සිටින විත්තිකාර නාවික හමුදා නිලධාරීන් තිදෙනා සිටින ස්ථානයක් පිළිබඳව විමර්ශනය කර අධිකරණයට දැනුම් දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙහි අධ්‍යක්ෂවරයාට අභියාචනාධිකරණය ඊයේ (28) නියෝග කෙළේය.

ඒ පිළිබඳව කරුණු දැක්වීම සඳහා ලබන ජූනි මස 19 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයාට නියම කරමින් නොතීසි නිකුත් කරන ලදී.

පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් නඩු තීන්දුවට එරෙහිව ගොනුකර ඇති ප්‍රතිශෝධන පෙත්සම සම්බන්ධ නොතීසි බාරදීම සඳහා එම නිදහස ලැබූ විත්තිකාර නාවික හමුදා නිලධාරීන් සිටින ස්ථානයක් සොයාගත නොහැකි බවට ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය මෙම නියෝගයන් කෙළේය.

එම විත්තිකාර නාවික හමුදා නිලධාරීන් සොයා ගැනීමට නොහැකි වූ බව එම ප්‍රතිශෝධන පෙත්සම ඊයේ (28) කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර ශෂිකලා රවිරාජ් මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා සඳහන් කෙළේය.

එබැවින් මෙම ප්‍රතිශෝධන පෙත්සම සම්බන්ධ නොතීසි ඔවුන්ට බාරදිය නොහැකි වූ බව හෙතෙම සඳහන් කෙළේය.

කරුණු සලකා බැලූ අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉහත නියෝගය කෙළේය.

එසේම නඩරාජා රවිරාජ් ඝාතන නඩුවේ නඩු ගොනුව වහාම අභියාචනාධිකරණයට යොමුකිරීමට පියවර ගන්නා ලෙස කොළඹ මහාධිකරණ ලේඛකාධිකාරිවරියට නියෝග කරන ලදී.

එල්. ටී. බී. දෙහිදෙණිය සහ එච්. සී. ජේ. මඩවල යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම ඊයේ (28) කැඳවන ලදී.

ඝාතනයට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතාගේ බිරිය වන ශෂිකලා රවිරාජ් මහත්මිය විසින් මෙම ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කර තිබිණි.

නඩරාජා රවිරාජ් ඝාතන නඩුවේ විත්තිකරුවන්ව මහාධිකරණ ජූරි සභා තීන්දුව මඟින් නිදොස් කොට නිදහස් කරනු ලැබූ හිටපු නාවික හමුදා නිලධාරීන් වන හෙට්ටිආරච්චි මුදියන්සේලාගේ ප්‍රසාද් චන්දන කුමාර, දිල්වලගෙදර ගාමිණී සෙනෙවිරත්න, කන්කානම්ලාගේ ප්‍රදීප් චාමින්ද නොහොත් වජිර යන අය සහ මියගොස් ඇති පලනිසාමි සුරේෂ් නොහොත් සාමි සහ අතුරුදහන්ව ඇති සිවකාන්තන් විවේකානන්දන් නොහොත් චතුරන් සහ ෆේඩියන් රොයිස්ටන් යන අය මෙම ප්‍රතිශෝධන පෙත්සමෙහි විත්තිකාර වගඋත්තරකරුවෝ වෙති.

2006 නොවැම්බර් මස 09 වැනිදා හෝ 10 වැනිදා අතර කාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා සහ ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරී ලොකුවැල්ල මුරගේ ලක්ෂ්මන් යන අයව වෙඩි තබා ඝාතනය කිරීම, ඒ සඳහා අනුබල දීම, කුමන්ත්‍රණය කිරීම ඇතුළු අධිචෝදනා 05 ක් යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන් 06 දෙනකුට එරෙහිව මහාධිකරණය හමුවෙහි නඩු පවරා තිබිණි.

විත්තිකරුවන්ගේ ඉල්ලීම අනුව එම නඩුව විශේෂ ජූරි සභාවක් ඉදිරියෙහි විභාගයට ගත් අතර එහි තීන්දුව 2016 දෙසැම්බර් මස 24 දින අලුයම මහාධිකරණය විසින් ප්‍රකාශ කරන ලදී.

එම තීන්දුව මගින් විත්තිකරුවන් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලදී.

එම නඩු තීන්දුව බලරහිත කර ජූරි සභාවක් නොමැතිව එම නඩු විභාගය නැවත විභාගයට ගන්නා ලෙස නියෝග කරන්නැයි පෙත්සම මඟින් ඉල්ලා තිබිණි.

-දිනමිණ-

RSL

Related Posts