බැඳුම්කර මංකොල්ලයට අර්ජුනගේ බලපෑම හෙළිවන තවත් සාක්ෂි ලැබෙයි

Spread the love

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ උපදෙස්‌ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ මුල් නිර්දේශය වෙනස්‌ කිරීමට 2015.02.27 දින රැස්‌වූ ටෙන්ඩර් මණ්‌ඩලයට සිදු වූ බව මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති සහ ටෙන්ඩර් මණ්‌ඩලයේ සභාපති පි. සමරසිරි මහතාද ඊයේ (28 දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ පිළිගත්තේය.

මේ අනුව රු. බිලියන 10 කට අධික ලංසු පිළිගැනීමේ අධිපතිවරයාගේ තීරණය ක්‍රියාත්මක කිරීමට සිදු වූ බවද ඒ අනුව අධිපතිවරයා දැක්‌වූ හේතු ටෙන්ඩර් මණ්‌ඩයේ සටහන්වලට ඇතුළත් කළ බවද සමරසිරි මහතා කොමිසම හමුවේ පිළිගත්තේය.

එසේම භාණ්‌ඩාගාර බැඳුම්කර සෘජු ක්‍රමයට නිකුත් කිරීම නතර කිරීම මහ බැංකුවේ මුදල් මණ්‌ඩල තීරණයක්‌ නොවන බවත් එය හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා මුදල් මණ්‌ඩලයට 2015 මාර්තු 06 දින දැනුම් දුන් බවත් පී. සමරසිරි මහතා කීවේය.

සෘජු නිකුතු ක්‍රමය අත්හිටවූ බවට මුලින්ම මුදල් මණ්‌ඩලයට දැනුම් දුන්නේ 2015.03.06 දින බවත් 2015.02.27 දිනෙන් පසු සෘජු නිකුතු ක්‍රමය ක්‍රියාත්මක වූයේ නැති බවත් සමරසිරි මහතා කොමිසම හමුවේ තවදුරටත් පිළිගත්තේය.

ජ්‍යෙෂ්ඨ ර. අධිනීතීඥ ආචාර්ය අවන්ති පෙරේරා – ඒ අනුව භාණ්‌ඩාගාර බැඳුම්කර සෘජු නිකුතු ක්‍රමය නැවැත්වීමට මුදල් මණ්‌ඩලයේ තීරණයක්‌ නැහැ.

පී. සමරසිරි මහතා – නැහැ.

RSL

Related Posts