පුනර්ජනනිය බලශක්තියේ දායකත්වය 500% කින් වැඩි කරන්න ඇමති රවීගෙන් සැලසුම්

Spread the love

“අද වනවිට නොයෙක් කතා ඇති කරලා තිබෙනවා පුනර්ජනනීය බලශක්ති විදුලි උත්පාදනය ලංකා විදුලිබල මණ්ඩලය විසින් අඩු කරන්න යනවා කියලා. නමුත් අපි උත්සාහ කරන්නේ පුනර්ජනනිය බලශක්තියේ දායකත්වය 500% කින් වැඩි කරන්නයි. පාරිභෝගිකයාත් ලංකා විදුලිබල මණ්ඩලයත් දෙපාර්ශවයම ආරක්ෂා වනපරිදි තමයි අපි කටයුතු කරන්නේ. මුදල් ඇමති වශයෙන් සිටිය වකවානුවේ මමයි මේ සුර්යබල සංග්‍රාමය වැඩසටහන ආරම්භ කළේ. මෙතෙක් දුර ක්‍රියාත්මක වූ ආකාරයට ලංකා විදුලිබල මණ්ඩලයට විශාල  හානියක් ඇතිවී තිබෙන නිසා  අළුත් ප්‍රතිපත්තියක් ගෙන එනවා.

නමුත් මෙතෙක්  ඇතිකරගත් සියලු ගිවිසුම් ඒ ආකාරයෙන්ම  ඉදිරියටත් ක්‍රියාත්මක වනවා. ලංකා විදුලිබල මණ්ඩලය රු. 28.00 – 30.00 ඩීසල් වලින් එක් විදුලි ඒකකයක් නිපදවලා, ඒ විදුලි ඒකකය පාරිභෝගිකයාට රු.16.00 ක් වැනි මුදලකට ලබාදීමෙන් ඇති වන ගැටලුව විසදා ගැනීමේ නිවැරදි ක්‍රමවේදයකට අවතීර්ණ වෙන්න තමයි අපි මේ උත්සාහ දරන්නේ. විදුලිබල මණ්ඩලය ආරක්ෂා වන ආකාරයේ නිවැරදි මාර්ගයකට අවතීර්ණ වනවිට, ඒකටත් වැරදි අර්ථකතන සපයන පිරිසක් සිටිනවා. නමුත් අපි හැකි සෑම උත්සාහයක්ම දරලා මෙම කටයුත්ත ඉදිරියට කරගෙන යනවා. අද වනවිට මෙගාවොට් 450 – 500 ක් තිබෙන පුනර්ජනනීය බලශක්ති දායකත්වය, තවත් වසර 2 කින් මෙගාවොට් 2000 ක් දක්වා වැඩිකරනවා. මෙම අභියෝගාත්මක කටයුත්තට කැමති ඕනම කෙනෙක්ට අපි සමග එකතු වෙන්න පුළුවන්. වැරදි මත නිවැරදි කරන එක තමයි අපි මේ කරගෙන යන්නේ” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකලේ, ඊයේ (10) පෙරවරුවේ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ ස්ථාපිත කල සූර්ය විදුලිබල නිෂ්පාදන ආයතනයක් වන රෑන්ක් ඉන්ටනැෂනල් ආයතනයේ  කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.  ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 01ක දායකත්වයක් සැපයෙන මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් රු. මිලියන 115 ක මූල්‍ය පිරිවැයක් දරා තිබේ.

මෙහිදී මාධ්‍යයෙන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දුන් අමාත්‍ය කරුණානායක මහතා,

“ඉන්දියාව කියන්නේ අපේ මිත්‍රශීලී රටක්. එවැනි රටක නායකයන් මෙරටට පැමිණීම ඉතාමත් වැදගත්. පසුගිය අප්‍රේල් 21 දා ඇති වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් ලංකාවේ ආරක්ෂාව පිළිබදව අනෙකුත් රටවල් තුළ සැකයක් ඇතිවුණා. ඉන්දියාවේ අගමැතිතුමා මේ ආකාරයෙන් මෙරටට පැමිණීමෙන් මෙරට ආරක්ෂාව පිළිබදව  අනෙක් රටවල් තුල ඇතිවී තිබු අවිනිෂ්චිත භාවය දුරුවුණා. ඒ  තුළින් සංචාරක කර්මාන්ත වැනි ක්ෂේත්‍රයන්ට ඇතිවී තිබූ බාධාවන් ඉවත් වනවා.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්වන අපේක්ෂකයා පිළිබදව මේ වනවිට නොයෙක් මත ප්‍රකාශ වෙමින් පවතිනවා. නමුත් අපි ඒ සදහා සුදුසුම පුද්ගලයා අවශ්‍ය අවස්ථාවේදි ඉදිරිපත් කිරීමට සූදානම්. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකවරයා පිළීබදව ඉදිරියේදී දැනගන්න හැකිවේව්.

පසුගියදා සියලු මුස්ලිම් ඇමතිවරුන් සිය අමාත්‍ය ධූර වලීන් ඉල්ලා අස්වුණා. ඒ පිළිබදව ඉදිරිපත් කල කැබිනට් පත්‍රිකාව මාධ්‍ය තුළිනුත් ජනතාවට ඉදිරිපත් කළා. ඉතින් දැන් කොහොමද කියන්නේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කලේ නැහැ කියලා. ජනතාවට බොරු කරන්න ආණ්ඩුවට කිසිදු අවශ්‍යතාවක් නැහැ. අපට අවශ්‍ය වන්නේ  එකමුතුභාවයෙන්, සමගිතාවයෙන් යුතුව රටක් ඉදිරියට ගෙනියන්න පුළුවන්  වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නයි යැයි පැවසීය.

RSL

Related Posts