අද (02 දා) පෙරවරු 10.00 ට භාණ්‌ඩාගාර බැඳුම්කර ජනාධිපති කොමිසම රැස්‌වන අතර හිටපු මුදල් අමාත්‍ය සහ වත්මන් විදේශ අමාත්‍ය රවි කරුණානායක මහතා එහිදී සාක්‍ෂි දීමට නියමිතය.
ඇමැති රවි කරුණානායක මහතා හැර වෙනත් සාක්‍ෂිකරුවකු අද කොමිසම හමුවේ සාක්‍ෂියට කැඳවා නැති අතර අද පෙරවරුව වෙන් කර ඇත්තේ ඔහුගේ සාක්‍ෂි විමසීම සඳහායි.
මීට පෙර දින දෙකක එනම් ඉකුත් ජුලි 25 සහ 26 කොමිසම හමුවට පැමිණ සාක්‍ෂි දෙන ලෙස නොතීසියක් මගින් රවි කරුණානායක ඇමැතිවරයාට දැනුම් දෙනු ලැබූවත් ඔහු පැමිණියේ නැත.
ඇමැති මණ්‌ඩල රැස්‌වීමකට අනිවාර්යෙන්ම සහභාගි විය යුතුව ඇති බැවින් පැමිණිය නොහැකි බව නීතිඥවරයකු මගින් 25 දා කොමිසමට දැනුම් දුන් අතර 26 දා ආරක්‍ෂක මණ්‌ඩලයේ රැස්‌වීමට සහභාගි වීමට ජනාධිපතිවරයාගෙන් ඇරයුම් ලැබී ඇති බව ඔහුගේ නීතිඥවරු කොමිසමට දැනුම් දුන්හ.
අද ඇමැති කරුණානායක මහතාට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙන 03 වැනි දිනයයි. මෙවර ඔහුට නොතීසියක් මගින් දැනුම් දීමක් නොකෙරූ බවත් නොවරදවාම ඔහු අද පැමිණිය යුතු බවත් කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා විසින් ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතාට දැනුම් දුන්නේය.