හම්බන්තොට ගිවිසුම ලබන සතියේ පාර්ලිමේන්තුවට

Spread the love

හම්බන්තොට වරාය ගිවිසුම ලබන සතියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව වරාය හා නාවික කටයුතු ඇමැති මහින්ද සමරසිංහ මහතා පවසයි‍.

පසුගිය සෙනසුරාදා අත්සන් කරන ලද මේ ගිවිසුම පිළිබඳව කැබිනට් මණ්ඩලයේ දී ඊයේ (01) සාකච්ඡා කළ බවත් මේ ගිවිසුම සඳහා සංශෝධන කිහිපයක් ඇතුළත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කළ බවත් ඇමැතිවරයා පැවැසීය.

අත්සන් කරන ලද මේ ගිවිසුම සඳහා අවශ්‍ය ඕනෑම වෙලාවක දී සංශෝධන ඉදිරිපත් කිරීමේ හැකියාව තිබිය යුතු බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇති අතර, එම යෝජනාව ද මේ ගිවිසුමට ඇතුළත් කරන බව මහින්ද සමරසිංහ මහතා පැවැසීය.

එමෙන්ම ගිවිසුමේ සියලු වගන්තිවලට සියලු පාර්ශ්ව ඇතුළත් විය යුතු බවට මුදල් අමාත්‍යාංශය යෝජනා‍වක් ඉදිරිපත් කර ඇති අතර, එම යෝජනාව හා නීතිපති දෙපාර්තමේන්තුවේ පැහැදිලි කිරීම් යටතේ ලබාදී ඇති යෝජනා‍ දෙකක් ද මේ ගිවිසුමට ඇතුළත් කරන බව ඇමැතිවරයා සඳහන් කළේය.

ඇමැති මහින්ද සමරසිංහ මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (01) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි. හම්බන්තොට වරාය ගිවිසුමට මේ සංශෝධන ඇතුළත් කරන බවත් අදාළ ගිවිසුම සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා මැති ඇමැතිවරුන්ට සතියක කාලයක් ලබාදෙන ලෙස කැබිනට් රැස්වීමේ දී ජනාධිපතිවරයා තමන්ට දැනුම් දුන් බවත් ඇමැතිවරයා පැවැසීය. ඒ අනුව අදාළ සතියක කාල සීමාව සම්පූර්ණ වන්නේ ලබන සඳුදා බැවින් ඊට පසුව එල‍ඹෙන අගහරුවාදා දින කැබිනට් රැස්වීමේ දී මේ පිළිබඳව සාකච්ඡා කර එම සතියේදීම මේ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ සෙනසුරාදා අත්සන් කරන ලද ගිවිසුමම බවත් මේ සම්බන්ධයෙන් ද වැරැදි මතවාද සමාජ ගත කරන්නට ඇතැමුන් උත්සාහ දරන බව ද ඇමැතිවරයා කීය. කෙසේ වුවද හම්බන්තොට වරාය ගිවිසුම අත්සන් කිරීමේ ක්‍රියාවලිය විනිවිද භාවයෙන් යුතුව සිදුකිරීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව වූ බවත් එය ක්‍රියාවෙන්ම ඔප්පු කිරීමේ අපේක්ෂාවෙන් මේ ගිවිසුම කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් හෙතෙම පැවැසීය‍. මේ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කර විවාදය සඳහා කාලය වෙන්කරවා ගත හැකි බවත් ඇමැතිවරයා වැඩි දුරටත් පැවැසීය.

RSL

Related Posts