රන්ජන් මාදිවෙලදී වෙඩි තබයි; අගමැති මැදිහත් වී නවතයි!

Spread the love

ranjan-shotසමාජ සවිබල ගැන්වීමේ සහ සුබසාධන නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා මාදිවෙල මන්ත්‍රී නිල නිවාස භූමියේ වෙඩි තැබීමට පුහුණුවීම් සිදු කරන බවට මන්ත්‍රීවරුන් කළ පැමිණිල්ලකට අනුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (23 දා) එම ක්‍රියාව නතර කරවන ලදී. පාර්ලිමේන්තුවේ කටයුතු ඊයේ න්‍යාය පත්‍රයට අනුව සිදු කෙරෙමින් තිබියදී ස්‌ථාවර නියෝග යටතේ ප්‍රකාශයක්‌ කිරීමට විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතාට මුලසුන අවස්‌ථාව ලබා දුන්නේය.

අනුර කුමාර දිසානායක මහතා සිය ප්‍රකාශය ඉදිරිපත් නොකර මද වේලාවක්‌ සිනාසෙන්නට විය. සිනාසෙන්නේ මන්දැයි ආණ්‌ඩු පක්‍ෂයේ ඇමැතිවරු සහ මන්ත්‍රීවරු දිසානායක මහතාගෙන් විමසා සිටියහ.

“නෑ…… මේ රන්ජන් කරන වැඩ… රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයාට කියන්න මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණය චිත්‍රපට දර්ශන රූ ගන්වන පසුතලයක්‌ නොවේ කියලා. ඒවාට වෙනම තැන් තියෙනවා. මන්ත්‍රී නිවාස සංකීර්ණය මේවාට පාවිච්චි කරන්න දෙන්න බෑ. ඒක ඒ මන්ත්‍රීවරයාට කියා දෙන්න…” යෑයි කී දිසානායක මහතා සිය ප්‍රකාශය කළේය. ඉන්පසු මොනරාගල දිස්‌ත්‍රික්‌ (එජනිස) මන්ත්‍රී පද්ම උදයශාන්ත මහතා විශේෂ වරප්‍රසාද ප්‍රශ්නයක්‌ මතු කළේය.

මම පදිංචිව ඉන්නේ මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ සී 25 නිවසේ. තව මන්ත්‍රීවරු ගණනාවක්‌ එහි පදිංචිව ඉන්නවා. රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයා එහි අද උදේ ඉඳලා වෙඩි පුහුණු වෙනවා. මේක අශෝභනයි. අපේ දරුවෝ බිරින්දැවරු පදිංචිවී ඉන්නවා. මේක වහාම නතර කරන්න.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා: රන්ජන් නියෝජ්‍ය ඇමැතිවරයා උදේ වරුවේ චිත්‍රපට වැඩසටහනක්‌ සඳහා (ඝෝෂා) මෙහෙම පුහුණුවීමක්‌ කරන බව මට දිනේෂ් ගුණවර්ධන , බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමාලා ප්‍රකාශ කළා. මම කතා කරලා එය නතර කරන්න කීවා. වෙඩි තැබීමට පුහුණුව ඕනෑ නම් රත්මලානෙ වෙඩි පිටියට යවතැකි. මමත් දන්නවා මාදිවෙල මන්ත්‍රීන් ට බිය නැතිව ජීවත් වෙන්න අවස්‌ථාව දිය යුතුයි. පොලිසියේ වෙඩි පිටියේ පුහුණු වෙන්න පුළුවන්. ඕනෑනම් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමාටත් ඒ අවස්‌ථාව ලබා දෙන්නම්.

මාතර දිස්‌ත්‍රික්‌ (ස්‌වාධීන) මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර මහතා: මට දැන ගන්න ඕනෑ කාගේ අවසරය ඇතිවද පාර්ලිමේන්තු මන්ත්‍රී නිල නිවාස සංකීර්ණය තුළ මෙවන් වෙඩි සංදර්ශනවලට අවසර දුන්නේ.

අගමැතිවරයා: මට අවසර දෙන්න බලයක්‌ නෑ. අවසර දුන්නත් ඒක නතර කරන්න කියලා මම කිව්වා.

-දිවයින-

RSL

Related Posts