යුරෝපයත් බ්‍රිතාන්‍යයත් වෙන් වෙයි; කැමරන් යන්න යයි

Spread the love

europe-ukමෙම ජනමත විචාරණයේදී බ්‍රිතාන්‍යයන් ගන්නා ලද තීරණය නූතන ජාතිකවාදය පරීක්ෂණයට ලක් කිරීමක් බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය. යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතුය යන මතයේ සිටි කඳවුර බ්‍රිතාන්‍යය, බ්‍රිතාන්‍යය විසින්ම පාලනය කළ යුතුය යන ස්ථාවරය දැරීය. මේ අනුව එය ස්වයං ආණ්ඩුකරණය සමඟ ද සම්බන්ධ ය.

හිටපු බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල්ගේ ලෝහමය මූර්තියක් පැරීසියේ ස්ථාපිත කොට තිබේ. ප්‍රංශය නාසි ග්‍රහණයෙන් නිදහස්වූ විගස 1944 නොවැම්බරයේදී ඔහු පැරිසියේ සංචාරයක යෙදිණි. මූර්තිය එම සංචාරය පිළිබඳ සිහිවටනයකි. චර්චිල්ගේ මූර්තියක් පැරිසියේ ස්ථාපිත කෙරුණේ දෙවන ලෝක සංග්‍රාමයේදී නාසිවාදය පරාජය කිරීම සඳහා ඔහු කළ කාර්යභාරයට ගරු කිරීම පිණිස පමණක්ම නොවේ. යුරෝපය පිළිබඳ ඔහුගේ දැක්ම අගය කිරීම ද ඉන් අරමුණු කෙරිණි. පැරීසියේ කරන ලද සංචාරයෙන් මාස කිහිපකට පසු “යුරෝපියානු පවුල” නැවත ගොඩනැගීම ගැන අගමැති චර්චිල් අවධාරණය කළේය. එහිදී ජර්මනිය හා ප්‍රංශය ද එහි හදවත් බඳු යැයි ඔහු කීවේ ය. “අපි යුරෝපයේත් එක්සත් ජනපදයක් ගොඩනැගිය යුතුයි” යනුවෙන් පවසමින් ඔහු එවැනි එකතුවක් සඳහා යුරෝපය දිරිගැන්වීය. ඊට වසර 70කට පමණ පසු යුරෝපා සංගමයේ තවදුරටත් රැඳී සිටිනවාද නැතහොත් ඉන් නික්මෙනවා ද යන්න තීරණය කිරීම සඳහා වන ජනමත විචාරණයක් බ්‍රිතාන්‍යයේ ඉකුත් බ්‍රහස්පතින්දා පැවැත්විණි.

යුරෝපා පවුලෙන් බැහැරවිය යුතු බවට බල කරන බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ මතයවී ඇත්තේ බ්‍රිතාන්‍ය පාලනය කළ යුත්තේ බ්‍රිතාන්‍ය විසින්ම බවයි. මෙහිදී ඔවුන් ගැඹුරු ජාතිකවාදී ස්ථාවරයක පිහිටා සිටින අයුරු දක්නට තිබේ. වත්මන් අගමැති ඩේවිඩ් කැමරන් ද ඇතුළු බ්‍රිතන්‍ය තවදුරටත් යුරෝපා පවුලේ සාමාජිකයකු විය යුතු බව කල්පනාකරන අයගේ මතය වී ඇත්තේ එක්ව මිස වෙන්ව ගමනක් නැති බවයි. බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ තීරණය ජනමත විමසුමට පැය ගණනාවකට ඉහත දී ද ජනමත විමසුම්වලින් පළවූයේ කරට කර සටනක් වශයෙනි. 51% පමණ බ්‍රිතාන්‍ය තවදුරටත් යු‍රෝපා සංගමයේ රැඳී සිටිය යුතු බව පවසනවිට 49%ක් පමණ ඉන් වෙන්විය යුතු බව කියා සිටියහ. යුරෝපා ප්‍රජාවගෙන් බහුතරයක් බ්‍රිතාන්‍ය තවදුරටත් තමන් සමඟ එක්ව සිටිය යුතු යැයි කල්පනා කරන බව පෙනෙන්නට තිබේ. බොහෝ විට ඔවුන් වෙතින් පළවූයේ “කරුණාකර යන්න එපා!” වැනි ආයාචනයකි. එහෙත්, යුරෝපා සංගමය මේ ගැන ප්‍රතිචාර දැක්වූයේ තවදුරටත් එක්ව සිටින්නැයි ආයාචනා කිරීමට තමන් සූදානම් නැති බව අවධාරණය කරමිනි.

ජනමත විචාරණ ප්‍රතිඵලවලට අනුව බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතු බව 51.9% ක් ප්‍රකාශ කර තිබේ.තව දුරටත් එහි සිටිය යුතු බව කියා ඇත්තේ 47.1%කි.වැඩි ජන්ද සංඛ්‍යාව ලක්ෂ 12කි.එංගලන්තයේ බහුතරය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතු බවට ජන්දය පුකාශ කරද්දී උතුරු අයර්ලන්තය හා ස්කොට්ලන්තයේ බහුතරය තවදුරටත් එය සමඟ සිටිය යුතු බවට ජන්දය ප්‍රකාශ කර ඇත.ප්‍රතිඵල නිකුත් වූ විගස ජාතිය අමතා හැඟීම්බර ප්‍රකාශයක් කළ අගමැති කැමරන් තමන් ඉල්ලා අස්වන බව නිවේදනය කළේය.එම තීරණය ඔක්තොම්බරයේදී ක්‍රියාත්මක වනු ඇත.නව අගමැති වශයෙන් බොරිස් ජොන්සන් පත්වනු ඇතැයි අනුමාන කෙරේ.ප්‍රතිඵල නිකුත් වූ විගසම බ්‍රිතාන්‍ය පවුම 1985න් පසු අඩුම අගයකින් පහත වැටිණී.යුරෝපයේ කොටස් වෙ‍‍ළෙඳ පොළද විශාල පසුබෑමක් සටහන් කළේය.මෙහි සෙසු බලපෑම් නුදුරු අනාගතයේදීම දැකගත හැකි වනු ඇත.

RSL

Related Posts