ඇමති රන්ජන්ගේ ප්‍රජා අයිතිය අහෝසි වෙයිද..? උසාවියට අපහාස කළැයි රන්ජන්ට තවත් නඩුවක්

Spread the love

උසාවියට අපහාස වන ප‍්‍රකාශයක් ප‍්‍රසිද්ධියේ කිරීම ගැන රාජ්‍ය අමාත්‍යවරයකු වන සහ ජනප‍්‍රිය නළු රන්ජන් රාමනායක මහතාට එරෙහිව නඩු විභාගයක් පැවැත්වීම සඳහා මාසයක් ඇතුළත චෝදනා පත‍්‍රයක් සකස් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (12) නීතිපතිවරයාට නියෝග කළේය.

උසාවියට අපහාස කිරීමේ චෝදනා මත රන්ජන් රාමනායක මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැත්වීමට යන දෙවැනි නඩු විභාගය මෙයයි. ලබන ජූලි 30 දා මෙම නඩු විභාගය පැවැත්වෙනු ඇත.

ජනාධිපති නීතිඥ පායිස් මුස්තාපා මහතා රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි අතර, තම සේවාදායකට එරෙහිව මේ අවස්ථාවේදී චෝදනා පත‍්‍රයක් කෙටුම්පත් කරනවාට තමා විරුද්ධ නොවන බව පැවසීය. එහෙත් චෝදනාවලට වැරදිකරු ද යන්න රාමනායක මහතාගෙන් විමසීමට පෙර චෝදනාවලට එරෙහිව කරුණු ඉදිරිපත් කිරීමට අවශ්‍ය බැවින් ඒ සඳහා ඉල්ලීමක් කරන බව ජනාධිපති නීතිඥ මුස්තාපා මහතා පැවැසීය.

රන්ජන් රාමනායක මහතා උසාවියට අපහාසයක් කර ඇති බවට මෙම දෙවැනි පැමිණිල්ල ශ්‍රේෂ්ඨාධිකරණයට කරනු ලැබුවේ නීතිපතිවරයා විසිනි. ඔහු කළ සම්පූර්ණ කතාව පටිගත කළ හඬපටය විකාශය කළ විද්‍යුත් නාලිකා ඇතුළු විස්තර නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයා වෙත යොමු කර ඒවා පරීක්‍ෂා කර බැලූ ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලූම විනිසුරුවරු ඔහු කළ ප‍්‍රකාශයෙන් බැලූ බැල්මට උසාවියට අපහාසයක්, උසාවියේ ගෞරවයට හානියක් සිදුවී ඇති බව තීරණය කළහ. ඒ අනුව ඔහු උසාවියට කැඳවා ඒ කළ වරදට දඬුවම් නොකිරීමට හේතු ඇත්නම් ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙමින් ඔහුට එරෙහිව ‘ආඥාවක්’ නිකුත් කිරීමට නියෝග කෙරිණි. රන්ජන් රාමනායක මහතා ඊයේ උසාවියේ පෙනී සිටියේ ඒ නියෝගයට අනුවයි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් කේ. මලල්ගොඩ සහ මුර්දු ප‍්‍රනාන්දු යන ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව ඊයේ කැඳවන ලදී. පැමිණිල්ලේ සඳහන් අන්දමට රන්ජන් රාමනායක මහතා විසින් උසාවියට අපහාස වන දෙවැනි ප‍්‍රකාශය කර ඇත්තේ 2018 නොවැම්බර් මස 20 දායි.

‘‘ඒ 3 බෙන්ච් අධිකරණයෙන් වාරණ නියෝගයක් දාලා. ආරංචියක් තියෙනවා. ඒක 5 ට යනවා. 5 ට ගියත් 3 ක් මෙයාට 2 ක් එහාට තීන්දු වෙනවා. තීන්දුවේ වෙනසක් නොවේ.’’ රාමනායක මහතා කළ බව කියන ප‍්‍රකාශයයි. ඔහු මේ ප‍්‍රකාශය කර ඇත්තේ අලූත්කඬේ උපරිමාධිකරණ සංකීර්ණය ගොඩනැඟිල්ල ඉදිරිපිටදී ජනමාධ්‍යවේදීන් අමතමින්ය.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනු කළ පෙත්සම් මේ දිනවල ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු 07 ක් හමුවේ විභාග වෙමින් තිබූ අතර රාමනායක මහතා එසේ සඳහන් කර ඇත්තේ එම පෙත්සම් විභාගය අවසානයේදී විනිසුරු මඬුල්ල ගන්නා තීන්දුව ගැනයි.

රන්ජන් රාමනායක මහතා එකී ප‍්‍රකාශය කර ඇත්තේ ඔහුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගොනුකර තිබූ අනිත් අපහාස නඩුවට පැමිණ උසාවියෙන් පිටවී යද්දී මාධ්‍යවේදීන් අමතමිනි.

මේ රටේ විනිසුරුවරු හා නීතිඥවරු බහුතරයක් දූෂිතයන්. ඔවුන් වැඩ කරන්නේ මුදල්වලට යයි ඔහු කළ ප‍්‍රකාශය උඩ 01 වැනි අපහාස නඩුව ඔහුට එරෙහිව පවරා ඇත.

RSL

Related Posts