අගමැති රනිල් මාධ්‍යයට අමුතුම කතාවක් කියයි

Spread the love

ranil-wickramasinghe2මහජනතාවගේ විශ්වාසය නැවත ගොඩනැගීම සඳහා ජනතාවට වගකියන මාධ්‍යයක් වෙනුවෙන් මාධ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනයට සකස් කළ වාර්තාව ලෝක ජනමාධ්‍ය දිනයේදී පෙරේදා(03) එළිදැක්වුණු අතර වසර එකහමාරකට ආසන්න කාලයක් තුළ සිදුකළ පර්යේෂණයකින් අනතුරුව සැකසූ එම වාර්තාවෙන් මාධ්‍ය වෙනස් විය යුතු ආකාරය ගැන කරුණු 100 ක් ඇතුළත්ය.

එහිදී විශේෂ දේශනයක් සිදුකළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමුතු තාලයේ කථාවක් කළේය. වික්‍රමසිංහ මහතාගේ එම සම්පූර්ණ කථාව අප මෙසේ පළකර සිටිමු.

“මේ කෙටුම්පත මම ඉදිරිපත් කළේ 2003 අගමැති හැටියට. අවුරුදු 13ක් ගියා පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඉදිරිපත් කරන්න. ඒත් ගිය අවුරුදු 11 තුළදී මෙතන මාධ්‍ය ඔක්කොම ඉන්නවා. ඒත් ඔක්කොම නෙවෙයි. මට කිවුවා දේශපාලනයෙන් අයින්වෙන්න. ඉවත් වෙන්න. ඔයා පරාජය වෙනවා. එල්.ටී.ටී.ඊ කාරයා, නෝර්වේජියන් කාරයා, අමෙරිකන් කාරයා, මට කිවුවේ නැති මාධ්‍යයක් ඉන්නවා නම් කියන්න. මම ඒ‍ෙගාල්ලෝ කියපු දේ ඇහුවේ නෑ. මම අයින් වුණෙත් නෑ. මට මෛත්‍රිපාල ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවේ අවස්ථාව ලැබුණා අයෙත් අගමැති හැටියට මේ කෙටුම්පත ඉදිරිපත් කරන්න.

මාධ්‍ය නිදහස වෙනුවෙන් ආණ්ඩුවක් හැටියට අපි කරන්න තියෙන දේ කරනවා. මොකද මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ජනාධිපති කළේ සිවිල් සමාජය, දේශාපලන පක්ෂ, මාධ්‍යයේ කොටසක් විශේෂයෙන්ම නිදහසක් ඇති කරන්න කියලා. අපි මෙතනින් අවසන් කරන්නේ නෑ. අලුත් ව්‍යවස්ථාවක් හදනවා. ඒ ව්‍යවස්ථාවෙන් මූලික අයිතිවාසිකම් ශක්තිමත් වෙනවා. මම අද මෙතැනින් පිටවෙලා යන්නේ අලුත් ව්‍යවස්ථාව ගැන කැබිනට් අනුකමිටුවේ සාකච්ඡාවක් තියෙනවා. ඊට කලින් මට ප්‍රශ්නයක් තියෙනවා විසඳගන්න.

අපේ අඩුපාඩුකම් තියෙනවා. මම නෑ කියන්නේ නෑ. දැන් මාධ්‍යයට තියෙනවා ජනතාවගේ විශ්වාසය තහවුරු කරන්න. සම්බන්ධන් මහත්තයා කිවුවා යාපනයේ කවුරුත් මැරුණේ නෑ කියලා. උදයන් පත්‍තරේ. මොකද උදයන් පත්තරේ තමයි මට වැඩිපුරම දොස් කිවුවේ. ඒත් උදයන් පත්තරය නිදහස් මාධ්‍ය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළා. ලංකාවේ මාධ්‍යයට තාම පිළිගන්න බැරිවෙලා. යාපනයේ දෙමළ අය මැරුණාට කමක් නෑ කියලානේ කියන්නේ. ඕකනේ ඇත්ත. අපි කතා කරමුකෝ. දෙමළ අය පැත්තකට දාමුකෝ එතකොට එක්නැළිගොඩ ගැන මොකද කියන්නේ. සරත් ෆොන්සේකා ගැන. අද මොකක්ද කියන්නේ. එක්නැලිගොඩත් එල්.ටී.ටී,ඊ කාරයෙක්. අද කියනවා එක්නැලි‍ෙගාඩ හොයා බැලීම රණවිරුවන් පාවාදීමක් කියලා සමහර හමුදා නිලධාරිනුත් මට කිවුවා. කරුණාකර හොයලා බලලා කියන්න කියලා. මට අහන්න තියෙන්නේ ආපහු ඒ යුගයට යන්න ඕනද?.

සමහරු කියනවා ආපහු එල්.ටී.ටී.ඊය එකතුවෙනවා කියලා. මම හමුදා බුද්ධි අංශයෙන් ඇහුවා. එල්.ටී.ටී.ඊය ආපහු එකතුවෙන්නේ නෑ කියලා ඒ අය කිවුවා. ඒත් සමහර කණ්ඩායම් ‍නම් එකතුවෙන්න හදනවාලු දේශපාලන හේතු නිසා. ත්‍රස්තවාදී හේතු නිසා. හොරකම් කරන්න. මෙතන තියෙන්නේ කොටි සංවිධානය ආපහු ‍එනවා ආපහු ‍එනවා.

දුටුගැමුණු රජ්ජුරුවෝ ආවේ කොටි අල්ලගෙන. ඕකනේ වුණේ. ඒත් රජ්ජු‍රුවෝත් ගිහින් ප්‍රභාකරන් එක්ක ගිවිසුම් ගැහුවා. සල්ලි දුන්නා. ඒත් එක්නැලිගොඩ මේවා කළේ නෑ. ඇයි මාධ්‍ය මේවා ගෙනියන්නේ ඉස්සරහට. තමුන්ට ඕන ආපහු ඒ යුගයට යන්න ද? තමුන්නාසේලාට මාධ්‍ය නිදහස එපා නම් අපිට කියන්න. එතකුට අපිට ඕන එකක් උදේ ඉඳන් හවස් වෙනකම් දාගන්න පුළුවන්. දැන් මාධ්‍ය නිදහස් වෙනුවෙන් සටන් කරන්නේ අපි. මාධ්‍ය නිදහස එපා කියන්නේ මාධ්‍යය. කොයි රටේද මේවා වෙලා තියෙන්නේ.

මට මතක් වෙන්නේ ජර්මන් ව්‍යවස්ථාව. හිට්ලර්ගේ වාදයෙන් පස්සේ ව්‍යවස්ථාවේ දාලා තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන්නේ නැති අයට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් භුක්ති විඳින්න බෑ කියලා. ඒක අරගෙන ඉදිරිපත් කරන්න ඕනද මේ රටේ ව්‍යවස්ථාවට? අපිට අහන්න තියෙන්නේ ඒවා. මම මේක ඇහුවාම මට කියනවා මම බණිනවා මාධ්‍යයට. මට මේ ගැන කතා කරන්න පුළුවන් අවුරුදු 50ක්. මම සටන් කරලා තියෙනවා. මේකෙන් මම හම්බ කරලා නෑ. ඔක්කොම නැතිවෙලා තියෙන්නේ.

මාධ්‍ය නිදහස වෙනුවෙන් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා අපි ඔක්කොම එතනට කැපවෙලා ඉන්නේ. ජනතාවගෙන් ඉල්ලනවා. තමුන්නාසේලාගෙන් ඉල්ලනවා. දැන් තමුන්නාසේලා කැමතිද, දැන් මෙතන ඉන්නවා ඒක කරන්න කැමති අය. කතෘ සංසදයෙන් අහන්න ඕන. අපේ වැඩකටයුත්ත කරනවා. ඔබේ වැඩකටයුත්ත කරන්න ඕන. මම හිතන්නේ ඒකට මේ වාර්තාව විශාල රුකුලක් වෙනවා. ඒ නිසා රංග කලංසූරිය මැතිතුමා ඇතුළු සියලුදෙනාට මේ ගැන ප්‍රශංසා කරමින් මගේ වචන ස්වල්පය මම අවසන් කරනවා.”

RSL

Related Posts