වැඩකරන ජනතාවගේ ආදායම වැඩි කිරීම රජයේ ඉලක්කයයි – අගමැති රනිල්

Spread the love

තරගකාරී ලෙස රටේ නිෂ්පාදනය වැඩි කර ලැබෙන ලාබය හාම්පුතුන්ට පමණක් සීමා නොකර ලාබයෙන් කොටසක් වැඩ කරන ජනතාවට ලබා දිය යුතු බවත් වැඩ කරන ජනතාවගේ ආදායම වැඩි කිරීම රජයේ ඉලක්කය බැවින් ඒ සඳහා අපනයන ආදායම වර්ධනය කිරීමට රජය සියලු පියවර ගන්නා බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ බොරැල්ල, කැම්බල් පිටියේ ඊයේ (01) පැවැති එක්සත් ජාතික පක්ෂ මැයි රැලිය අමතමිනි.

අති විශාල ජනකායකගේ සහභාගිත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලිය පැවැත්විණි. පස්වරු 1ට මරදානෙන් ආරම්භ වූ එක්සත් ජාතික පක්ෂයේ මැයි දින පෙලපාළියේ ගමන් ගත් ජනතාව හවස 6.45ට පමණ රැස්වීම අවසන් වනතුරුම කැම්බල් පිටියට ළඟා වීම අවසන් වී නොතිබුණි. කැම්බල් පිටිය පිරී ගොස් තිබූ නිසා ජනතාව බේස් ලයින් පාරේ සිට රැස්වීම නැරඹූහ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මරදාන ඇක්වයිනාස් විදුහල ඉදිරිපිට සිට මැයි දින පෙලපාළිය නරඹමින් පෙලපාළියේ ගමන් කළ ජනතාව දිරිමත් කළේය. කැම්බල් පිටියට පැමිණි අගමැතිවරයාට රැස්ව සිටි මහජනතාවගෙන් ලැබුණේ උණුසුම් පිළිගැනීමකි.

අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා එහිදි මෙසේද කීය.

එක්සත් ජාතික පෙරමුණේ මැයි රැලිය සඳහා පසුගිය වසරටත් වඩා අති විශාල ජන ගඟක් සහභාගි වී සිටිනවා. ඒ වගේම පක්ෂ විශාල ප්‍රමාණයක් අප සමඟ මේ මැයි දිනයේ දී අත්වැල් බැඳගෙන සිටිනවා. මෙහි පැමිණි විට සංදර්ශන රථ කිහිපයක්ම මා දුටුවා. පුංචි බොරැල්ල ආසන්නයේ පෙලපාළිය නිරීක්ෂණය කරද්දී මා ඒ රථ දුටුවේ සවස 4.00ට පමණ. ඒ රථ පිටියට ළඟා වෙන්නේ දැනුයි. එතැන සිට මෙතැනට එන්නට පැය එකහමාරක පමණ කාලයක් ගත වී තිබෙනවා. අපගේ රැලියට එක්රොක් වූ ජනකායේ ප්‍රමාණය එයින්ම අවබෝධ කර ගත හැකියි.

මේ සෙනඟ දුටු විට අප ඕනෑම මැතිවරණයකට, අභියෝගයකට ඕනෑම මොහොතක සූදානම් බව කිව යුතුයි. රාජපක්ෂ පාලනය පරදා වරමක් ලබා ගැනීමට 2015 වසරේ දී අපි තීරණය කළා. ඒ සඳහා අප සමඟ පක්ෂ ගණනාවක් අත්වැල් බැඳ ගත්තා. පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරවීම සඳහා අප අත්වැල් බැඳ ගත්තා. ඒ අනුව අප විශාල ජයග්‍රහණයක් ලබා ගත්තා. අනතුරුව ජනතාවගේ අනාගතය සුරක්ෂිත කරලීම සඳහා ජාතික ආණ්ඩුවක් පිහිටුවූවා. ඒ ජාතික ආණ්ඩුවට වසර දෙකක් ගත වී තිබෙනවා.

2016 වසරේ මැයි රැලියේ දී දේශපාලන පළිගැනීම්වලට සහන ලබාදීම, රැකියා ලබාදීම ආදියට වසරක කාලයක් ලබාදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියා. මුලින්ම ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමේ අවශ්‍යතාව තිබුණා. රාජපක්ෂ ඡන්දයක් පැවැත්වූයේ ඔහුට ආර්ථිකය ගොඩගැනීමට නොහැකි වූ නිසයි. ඡන්දය පවත්වා ඉන් ජයග්‍රහණය කොට මෙරට තවත් මර්දනයක් ඇති කිරීම රාජපක්ෂ රෙජීමයේ අරමුණ වුණා.

වසරක් ඇතුළත කඩා වැටුණු ආර්ථිකය ස්ථාවර කිරීමට අපට හැකි වුණා. ඒ වැඩ කටයුත්ත කරන්නට නොහැකි වේවි යැයි රාජපක්ෂලා කල්පනා කළා. එවිට නැවත බලයට පැමිණීම ඔවුන්ගේ සිහිනය වුණා. රාජපක්ෂලා බලාපොරොත්තු වන වෙසක් පොහොය ශත වර්ෂ දෙකක් ගතවුණත් උදා නොවන බව දැන් හොඳින්ම පෙනෙන්නට තිබෙනවා.

වසර ගණනාවක් විපක්ෂයේ සිට බලයට පැමිණි පසුව අපේ පාක්ෂිකයන් ක්ෂණික විසඳුම් බලාපොරොත්තු වුණා. අප ආර්ථික ස්ථාවරත්වය ඇති කළේ නැති නම් ඊළඟ වසර හතරේ දී ඔවුන්ගේ ප්‍රශ්න විසඳීමට හැකියාව ලැබෙන්නේ නැහැ.

මේ වසරේ දී මා ජනතාවගෙන් තවත් ඉල්ලීමක් කරනවා. දැන් අපේ සංවර්ධනය ආරම්භ කරනවා. ඊට ඔබේ සහයෝගය ලබා දෙන්න. අප මුදල් උපයා රාජපක්ෂ ගත් ණය ගෙවිය යුතුයි. රැකියා උත්පාදනය කළ යුතුයි. ජනතාවගේ ආදායම් වැඩි කළ යුතුයි.

මට පෙර කතා කළ පක්‍ෂ නායකවරුන් රටේ දේශපාලන තත්ත්වය පිළිබඳව හොඳින් පැහැදිලි කළා. මහින්ද රාජපක්ෂට රට සංවර්ධනය කිරීම සඳහා යුද්ධයෙන් පසුව වසර 5ක කාලයක් තිබුණා. යුද්ධය වෙනුවෙන් දුක් විඳි තරුණ තරුණියන්ට අනාගතයක් ලබාදිය යුතුව තිබුණා. නමුත් එය කළේ නැහැ. ඒ වෙනුවට රටේ ආර්ථිකය විනාශ කළා. රටේ නිදහස අහිමි කළා. අප රට බාර ගත්තේ ඒ වැඩ කටයුත්ත සඳහායි.

මේ රට දියුණු වුවහොත් අපනයන ආදායම වර්ධනය කර ගත හැකියි. 1977 වසරේ දී ජේ.ආර්. ජයවර්ධන මහතා විවෘත ආර්ථිකය හඳුන්වා දුන්නේ ජනතාව අතට මුදල් ලබාදීමටයි. අපනයන ආදායම වැඩි කිරීමටයි. ජනතාව ශක්තිමත් කිරීම සඳහායි. නමුත් යුද්ධය නිසා අපට පසු බැසීමට සිදු වුණා. යුද්ධයෙන් පසුව ඉදිරියට යන ගමනේ දී අප අපනයන වෙළෙඳපොළ සොයා ගත යුතුයි. 2003 වසරේ මා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරද්දී යුරෝපා වෙළෙඳපොළ සමඟ සාකච්ඡා කළා. ආණ්ඩුව මාරු වුණත් චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය ඒ වැඩ කටයුතු ඉදිරියට ගෙන ගියා. ඒ අනුව අපට ජී.එස්.පී. ප්ලස් තීරුබදු සහනය හිමි වුණා. මහින්ද රාජපක්ෂ පාලනය එම ජී.එස්.පී. ප්ලස් සහනයත් නැති කර ගත්තා. රටට ලැබෙන ආදායම නැති කර ගත්තා. අපනයන වෙළෙඳපොළ නැති කළා. කර්මාන්ත ශාලා වසා දැමුවා.

යහපාලන රජය යටතේ මීට සතියකට පෙර ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය නැවත ලබා ගැනීමට හැකියාව ලැබුණා. නැවත කර්මාන්ත ශාලා ආරම්භ කරන්නට හැකි පසුබිමක් නිර්මාණය වී තිබෙන බව ආඩම්බරයෙන් කිව හැකියි. ඒ සඳහා අපට ජාත්‍යන්තර සහයෝගය ලැබුණා. අප දැන් ශ්‍රී ලාංකික සහජීවනය ඇති කර තිබෙනවා. ජී.එස්.පී. ප්ලස් තීරුබදු සහනය ලැබීමෙන් පසු භාණ්ඩ 6600ක් යුරෝපයට අපනයනය කිරීමට හැකියාව ලැබෙනවා. ඇඟලූම් කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය වැඩි කිරීම පමණක් නොව, නව කර්මාන්ත ශාලා ආරම්භ කිරීමට හැකියාව ලැබෙනවා.

අපනයන ආදායම දෙගුණයක් බවට පත් කිරීම අපේ අරමුණයි. රාජපක්ෂ රෙජීමය අපට බාර දුන් අභියෝගය ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. 2018 වසරේ අපට ගෙවීමට ඇති රුපියල් ණය ප්‍රමාණය කොතෙක්දැයි ඔබ දන්නවාද? 2018 දී රුපියල් කෝටි 96000ක් ණය ගෙවන්නට තිබෙනවා. 2020 වසර වන විට විදේශ ණය ඩොලර් කෝටි 1500ක් ගෙවිය යුතුව තිබෙනවා. ජනතාවට බරක් නොවන පරිදි මේ ණය ගෙවා දැමීම අපේ අරමුණයි.

ණය ගෙවන අතරතුර අප අලුත් කර්මාන්ත ශාලා ඇති කළ යුතුයි. අලුත් හෝටල් ඇති කළ යුතුයි. තරුණ තරුණියන්ට රැකියා ලබා දිය යුතුයි. ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය ලබා ගැනීමත් සමඟ රටේ අපනයන ආදායම තවදුරටත් වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙනවා. වර්තමානයේ දී අපේ තරුණ තරුණියන් කොරියාව, ජපානය ආදී රටවල රැකියාවලට යනවා. එම රටවල පවතින්නේ අපනයන ආර්ථිකයක්. ශ්‍රි ලංකාවටත් ආයෝජකයන් ගෙන ඒමට අපට හැකියාව තිබිය යුතුයි. දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන් ගෙන්වා ගෙන කර්මාන්ත ශාලා, හෝටල් ආරම්භ කළ යුතුයි.

අප මීට වඩා තරගකාරී විය යුතුයි. නිෂ්පාදනය වැඩි කළ යුතුයි. ලාබය වැඩි වූ විට එහි ලාබය හාම්පුතුන්ට පමණක් සීමා කළ නොහැකියි. එම ලාබයෙන් කොටසක් වැඩ කරන ජනතාවටත් ලබා දිය යුතුයි. අපේ ඉලක්කයක් තිබෙනවා. ඒ වැඩ කරන ජනතාවගේ ආදායම වැඩි කිරීමයි. ඒ සඳහා අපනයන ආදායම වර්ධනය කිරීම අපේ ඉලක්කයයි.

ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ නාවුක සහ ආර්ථික කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම අපේ අරමුණක්. එවිට මෙරට ව්‍යාපාරික කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙනවා. වරාය මෙන්ම ගුවන් තොටුපොළ කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙනවා. පණිවුඩ හුවමාරු කේෂත්‍රයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙනවා. අප මේ වැඩ කටයුත්ත ආරම්භ කරන්නේ ඒ විශාල දියුණුව ඉදිරියට ගෙන යාම සඳහායි.

අප කුලියාපිටියේ වාහන එකලස් කර්මාන්ත ශාලාව ආරම්භ කළා. පන්නල මාස් ඇඟලූම් කර්මාන්ත ශාලාව ඇරැඹුවා. කොග්ගල කර්මාන්ත ශාලා ඇරැඹුවා. අද වන විට කර්මාන්ත ශාලා සහ හෝටල් ගණනාවක් ආරම්භ කර තිබෙනවා. එමෙන්ම ජී.එස්.පී. ප්ලස් තීරුබදු සහනය ලැබීම නිසා අලූතින් කර්මාන්ත ශාලා බිහි කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා.

අප ජපානය සමඟ ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීමට එකඟ වී තිබෙනවා. කොළඹ වරාය දියුණු කිරීම, කොළඹ වර්තමානයේ පවතින වරායට උතුරින් තවත් අලුත් වරායක් ඇරැඹිම, බස්නාහිර මහ නගර වැඩසටහන සඳහා සහාය දැක්වීම ආදියට ජපානය අප සමඟ එකඟ වී තිබෙනවා.

මහනුවර නගරය දියුණු කිරීම, සංචාරක මධ්‍යස්ථානයක් බවට පත් කිරීම, නවීන කෘෂි ආර්ථිකය හඳුන්වා දීම සඳහාත් ජපානය එකඟ වී සිටිනවා. ත්‍රිකුණාමලය වරාය දියුණු කිරීමට මෙන්ම අලුත් ව්‍යාපෘති සඳහා ද, රූපවාහිනී සේවා ඩිජිටල්කරණය සඳහා ද ජපානයේ සහාය ලැබෙනවා. කෙරවලපිටියේ එල්.එන්.ජී. විදුලි බලාගාරයක් මේ වසරේ දී ආරම්භ කිරීමට ඉන්දියාව එකඟ වී තිබෙනවා. මසක් ඇතුළත ඉන්දියාව සහ ජපානය එක්ව එල්.එන්.ජී. විදුලි බලාගාර දෙකක් ඇරැඹිමට නියමිතයි. ඉන්දියාව අපත් එක්ක එකට එකතු වෙලා ත්‍රිකුණාමලය වරාය දියුණු කරන්නත් ඒවායේ අයෝජනය කරන්නත් උදව් කරනා බව ප්‍රකාශ කළා. ඔවුන් ඒ අයෝජකයන්ට කියනවා ත්‍රිකුණාමලයට එන්න කියලා. අපි සිංගප්පූරුව සමග ත්‍රිකුණාමලය දියුණු කිරීමේ සැලැස්ම සකස් කරමින් සිටිනවා. කර්මාන්ත ඇති කරන්න, සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න වගේම කෘෂි කර්මාන්තය දියුණු කරන්න කටයුතු කරනවා.

ඒ වගේම ඉන්දියාවට අවශ්‍ය වන ඉන්ධන ගබඩා කරන්න පහසුකම් අප ත්‍රිකුණාමලයෙන් ලබා දෙනවා. ඊළග අවුරුදු පනහේදි ඉන්දියාව දියුණු වෙන්න දියුණු වෙන්න ඔවුන්ට විශාල වශයෙන් ඛනිජ තෙල් ඉල්ලූමක් ඇති වෙනවා. ඒ තෙල් ගබඩා කරන්න අවශ්‍ය පහසුකම් ඔවුන්ට නැහැ. ලංකාවේ ගබඩා කරලා ඉන්දියාවට දුන්නාම අපට ගබඩා ගාස්තු හම්බවෙනවා වගේම ඒ වෙනුවෙන් මූල්‍ය ලාබයක්ද අපට හිමි වෙනවා.

මෙය තෙල් සංස්ථාව හා ඉන්දියානු සමාගමයි එකට එකතු වෙලා කරන වැඩක්. පළමු වතාවට තෙල් සංස්ථාවට ඉන්දියානු වෙළෙද පොළට ඇතුළු විමේ මාර්ගයක් මෙමගින් අපි ඇති කරනවා.

අප හදන්නේ රාජපක්ෂලා මෙන් තෙල් සංස්ථාව නැති කරන්න නෙවෙයි. දියණු කරන්නයි. වැඩි ලාබ ලබන ආයතනයක් බවට පත් කරන්නයි. ඉතින් මේකට විරුද්ධ වෙන්නේ කවුද…? අපි බලන්නේ තෙල් ටැංකි වලින් ප්‍රයෝජනයක් අරගෙන ත්‍රිකුණාමලයේ දියුණුව මගින් එහි වෙසෙන තරුණ තරුණියන්ට රැකියා ලබා දෙන්නයි.

ඒත් සමඟම සාම්පූර්වල තාප විදුලි බලාගාරයක් ඉදි කර, බලශක්ති මධ්‍යස්ථානයක් බවට පත් කරන්න අපේක්ෂා කරනවා. උතුරේත් ඒ වගේම උඩරටත් නිවාස ඉදි කරන්න ආධාර කරන්න එකඟ වෙලා තියෙනවා. ත්‍රිකුණාමලය වෙළෙද කලාපයක් ආරම්භ කරන්නත් දකුණේ තව වෙළෙද කලාපයක් ආරම්භ කරන්නත් ඉන්දියන් ආයෝජකයන් හොයලා දෙනවා කියලා අපිට ඉන්දියන් ආණ්ඩුව පොරොන්දු වෙලා තියෙනවා. ඉන්දියානු සංචාරකයන් ලංකාවට එවලා ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්නත් ඉන්දියාවේ අයෝජකයන් ලංකාවේ හෝටල් ඉදිකරලා එන සංචාරකයන් අවශ්‍ය පහසුකම් සපයන්නත් එකඟ වෙලා තියෙනවා.

යාපනය, මන්නාරම, වව්නියාව, ත්‍රිකුණාමලය, දඹුල්ල එකතු කරන මහා අධිවේගි මාර්ගයක් ඇති කරන්නත් ඒ අය එකඟ වෙලා තියෙනවා. දුම්රිය සේවය නවීකරණය කර කන්ටේනර් අංගනවල අයෝජනය කිරිමට මෙන්ම කෘෂි කර්ම හා සත්ව නිෂ්පාදනය, ජලකළමනාකරණය ආදි ක්ෂේත්‍ර ගණනාවක් සංවර්ධනය කරන්නත් ඉන්දියාවේ සහාය අපට ලැබෙනනවා. මේ අපි මේ මාසය තුළ කළ දේවලින් බිඳක් පමණයි.

ජි.එස්.පි ප්ලස් වගේම ජපානය ඉන්දියාවෙන් ලැබෙන අයෝජන ගැන මම කිව්වේ නිල වශයෙන් තියෙන ඒවා ගැන පමණයි. තව සාකච්ඡා කරන කරුණු කාරනා රාශියක් තියෙනවා. ඒ ගැන මම දැන්ම කියන්න යන්නේ නැහැ. ඒවා මොනවාද කොහොමද කරන්නේ කියන කාරණය මම ලබන වසරේදි කියන්නම්. හම්බන්තොට වරාය අපි චිනයත් සමඟ එකට එකතු වෙලා දියුණු කරනවා. වරායේ ඉඩම් අයිතිය තියෙන්නේ අපටයි. චින සමාගමයි වරාය අධිකරියයි එකට එක්ව හම්බන්තොට වරාය දියුණු කරනවා.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ ගත් ණය ඔහු ගෙව්වේ නැහැ. හම්බන්තොට සංවර්ධන කලාප දියුණු විමත් සමඟ අපට ඒ ණය සියල්ල ගෙවා අවසන් කිරිමේ හැකියාව ලැබෙනවා. හම්බන්තොට වරාය ගිවිසුම අනුව චීන සමාගමෙන් අපට ඩොලර් කෝටි 100 ක් ලැබෙනවා. එමගින් අපේ ණය අඩු වෙනවා. මේ අයෝජනයන් බාර ගන්නවාද? එසේත් නැතිනම් ගෙවන්න තියෙන ණය ප්‍රමාණය වැඩි කරගන්නවාද?

මේ වරාය දියුණු වුණාම වරාය ආශ්‍රිතව අයෝජන කලාප ඇති වෙනවා. චින ආයෝජකයන් එයට එනවා. සිංගප්පූරු අයෝජකයන් එනවා. හම්බන්තොට ප්‍රදේශය කර්මාන්ත පුරයක් වෙනවා. සිංගප්පූරුව වයඹ වෙළෙද කලාපයක් ඇති කරන්න අපත් සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. අපි කඳුකරයේද වෙළෙද කලාපයක් ඇති කරන්න තායි සමාගමක් සමඟ සාකච්ඡා කර තිබෙනවා. අපි ගාලූ දිස්ත්‍රික්කයේ අක්කර 1000 ක සංචාරක කලාපයක් හදන්නත් සැලසුම් කර තිබෙනවා.

මාතර වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කරන අතර මහනුවරත් විශාල දියුණුවකට ගෙන යනවා. මේ සියල්ල මාස හයක් තුළ කළ දේ පමණයි. මෙවැනි කාර්යයන් රැසක් කළ වෙන කෙනෙක් ඉන්නවාද කියා මට කියන්න.

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ කාලයේ අපි වෙළෙඳ කලාප ඇති කලා. ඉන් පසුව විශාල දියුණුවක් ඇති වුණේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ආණ්ඩුව යටතේ බව මම කියන්න කැමතියි. බස්නාහිර මහ නගර සංවර්ධනය යටතේ ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. උතුරේ ආර්ථිකය දියුණු කරන්නත් ව්‍යාපෘති රැසක් ගෙනවිත් තිබෙනවා. මීට අමතරව රත්නපුර වැනි ප්‍රදේශ දියුණු කරන්නත් සැලසුම් තියෙනවා.

මේ සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක විම මගින් රටේ ණය බර අඩු කොට රට සංවර්ධනය කරා ගෙන යා හැකියි. මේ ආණ්ඩුවේ වෙනස ආයෝජකයන් ගෙනල්ලා රට දියුණු කිරිමයි. මේවා අපිට කරන්න බැරි වෙයි කියලා කියපු අය දැන් ඒවා කරන්න යනකොට බය වෙලා වෙන දේවල් කියන්න පටන් අරගෙන තියෙනවා.

එදා රොෂාන් චානකට වෙඩි තියපු අය, වැලිවේරියේ වෙඩි තියපු අය, අද වෘත්තීය සමිති ජනතාවගේ අයිතිවාසිකම් ගැන කතා කරනවා. මේ ඔක්කොම කරන්නේ අපේ ඉදිරි ගමන නවත්වන්නයි. ඔබට රැකියා දෙන එක නවත්වන්නයි. ඒ වගේම ආදායම් වැඩි කරන එක නවත්වන්නයි. රටේ සංවර්ධනය කඩාකප්පල් කරන්නයි.

ඒකට අපි ඉඩ දෙන්නේ නැති බව මා මෙතනදි ප්‍රකාශ කරනවා. කවුරු හරි කියනවා නම් ඒ ගැන අපි කතා කරන්න ලැහැස්තියි. නමුත් කව්රු හරි රටේ ඉදිරි ගමන නවත්වන්න හදනවා නම් අපි නිකම්ම වාඩිවෙලා ඉන්නේ නෑ.

එක්සත් ජාතික පෙරමුණ ඉදිරියට ඇවිත් රට ආරක්ෂා කරනවා. අපි රටේ දියුණුව ගැන කතා කරනවා. අපි සටන රට ඉදිරියට ගෙන යනවා. ජනතාවට මේ ගැන කියනවා. ඔවුන් මේ සටනට එක් කර ගන්නවා. අද ඉඳන් අපි ඉදිරියට යනවා ආපසු පස්සට යන්නේ නැහැ.

අපි රට සංවර්ධනය කරලා ඔබේ අනාගතය සුරක්ෂිත කරලා, බලගතු ශ්‍රී ලංකාවක් බිහි කරනවා. ඒ අනුව 2020 වසරේදිත් අපට ප්‍රබල ජනවරමක් ලැබෙන බව අමුතුවෙන් කිව යුතු නැහැ යැයිද අගමැති වික්‍රමසිංහ මහතා කීය.

අමාත්‍යවරුන් වන සජිත් ප්‍රේමදාස, කබීර් හෂිම්, රවි කරුණානායක, රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, සරත් ෆොන්සේකා, අකිල විරාජ් කාරියවසම්, රවුෆ් හකීම්, රංජිත් මද්දුම බණ්ඩාර, අජිත් පී. පෙරේරා සහ සුරේෂ් වඩිවේල් මහත්වරුද රැස්වීම ඇමතූහ.

මේ අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරු ඇතුළු මහජන නියෝජිතයන්ද සහභාගි වී සිටියහ.

[youtube YYm3se4PZ4M]

RSL

Related Posts