අගමැතිකම ඉල්ලාගත් රනිල් මාධ්‍යයට දැමූ තඟ සහ මහින්ද ආණ්ඩුවට දැමූ රතු එළිය

Spread the love

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාත්, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති මෙන්ම වත්මන් විපක්ෂ නායකවරයාත් පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තුවේදී සිදු කරන ලද අනතුරු ඇඟවීම් 2ක් සම්බන්ධයෙන් මේ වන විට දේශපාලන ක්‍ෂේත්‍රයේ මෙන්ම ජනමාධ්‍ය ක්‍ෂේත්‍රයේද බොහෝ දෙනකුගේ අවධානයට ලක්ව තිබේ.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා අනතුරු ඇඟවීමක් කළේ ඇතැම් මාධ්‍යයන්ටය. මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා අනතුරු ඇඟවීම කළේ වත්මන් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවටය. අමාත්‍ය මණ්ඩලය පත්කිරීමේදී තමා ජනාධිපතිවරයාට යැවූ නාම ලේඛනයේ සඳහන් නොවූ නම් පළ කළ මාධ්‍ය ආයතනවල නම් හෙළි කරන බව ප්‍රකාශ කරමින් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා විසින් එම මාධ්‍ය ආයතනවලට යම් අනතුරු ඇඟවීමක් සිදුකරන ලදී.

‘ජනවාරි මාසයේදී පාර්ලිමේන්තු විවාදයක් පවත්වා මෙම මාධ්‍ය ආයතනවල නම් හෙළි කරනවා. මාධ්‍ය නිදහස වෙනුවෙන් සටන් කළ මට ඒ මාධ්‍ය නැති කිරීමට අවශ්‍ය නැහැ. එහෙත් අසත්‍ය වාර්තා පළ කළ මාධ්‍ය ආයතනවලට එරෙහිව නඩු පවරනවා. එතකොට වන්දි ගෙවන්න චෙක්පත් සූදානම් කරගෙන ඉන්න කියලා මං ඒ මාධ්‍ය ආයතනවලට කියන්න කැමැතියි.

කැබිනට් මණ්ඩලය වගකියන්නේ පාර්ලිමේන්තුවටයි. කවුද දැම්මේ කවුද නැත්තේ කියලා සමහර කාරණා ගැන අපි ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කරගෙන යනවා.

මං පුදුම වුණේ මං යැව්වේ නැති නම් ටිකකුත් මේ මාධ්‍යවල පළ වෙලා තියෙනවා කියලා. විජිත් විජිතමුණි සොයිසා මන්ත්‍රිතුමාගේ නම මං දැක්කා. ඒත් ඒ නම යැව්වේ නැහැ. විජිතමුණි සොයිසා මන්ත්‍රිතුමා හරි වාසනාවන්තයෙක්.

මන්ත්‍රිතුමාට මේ මාධ්‍ය ආයතනවලට විරුද්ධව නඩු දැම්මාම රුපියල් මිලියන 100ක් විතර හම්බවෙයි. එක් ආයතනයකින් රුපියල් මිලියන 10 ගණනේ ගත්තත් කොහොමද? තුන් හතර දෙනෙක්ගෙන් ගන්නකොට කීයක්ද?

මෙහෙම මේ නම් පළ කරන්නේ මම යැව්වේ නැති ඒවා. මම යවපු නම් ටික ඇතුළත් ලිපිය ඕන නම් ඉදිරිපත් කරන්නම්. මේකයි මේ කළු මාධ්‍ය කියලා කියන්නේ. අපි දැක්කා මේ කළු මාධ්‍ය ඔක්තෝබර් 26 වැනිදා සිට මොනවාද කළේ කියලා.

මේ නම් ගැන මගෙන් ඇහුවාද? මගේ කාර්යාලයෙන් විමසුවාද?’ යනුවෙන් අගමැතිවරයා ප්‍රකාශ කෙළේ පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් සිටින ගැලරිය දෙස මහත් ඕනෑකමින් බලමින්ය.

‘මගේ මේ කතාව මාධ්‍ය දානවාද? මේක නිවැරැදි කරනවාද? නඩු ගියාම ගෙවන්න සල්ලි තියෙනවද?

විජිතමුණි සොයිසා මන්ත්‍රිතුමා මේ ගැන නඩු දානවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊළඟ ඡන්දයට මුදල් හොයාගන්න පුළුවන්.

කරුණාකරලා චෙක්පත් ලෑස්ති කරලා තියාගන්න. මේ මන්ත්‍රිවරුන් හතර පස්දෙනාට අඩු තරමේ රුපියල් මිලියන 50ක් -100ක් ගෙවන්න’ යැයිද රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා විසින් දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කරන ලදී.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා මෙසේ මාධ්‍යයට අනතුරු ඇඟවීම් කරන විට මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා අනතුරු ඇඟෙව්වේ වර්තමාන ආණ්ඩුවටය.

මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා අදහස් දැක්වීමට පෙර ආණ්ඩුව වෙනුවෙන් අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කරන ලද මංගල සමරවීර අමාත්‍යවරයා යම් අදහස් දැක්වීමක් සිදු කෙළේය.

එම අදහස් දැක්වීමේදී සුපුරුදු පරිදි ඔහු විසින් රාජපක්ෂවරුන් විවේචනය කරන ලදී.

මැති සබයෙහි විපක්ෂ නායක පුටුවේ අසුන්ගෙන සිටි මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා මංගලගේ කතාවට අවධානයෙන් සවන් දුන්නේය.
‘ඔක්තෝබර් 26 වැනිදා සිදුවුණු කුමන්ත්‍රණය මේ මහින්ද රාජපක්ෂ මැතිතුමාත් දැනගෙන සිටියා.

එදා දවල් පාර්ලිමේන්තුවේ භෝජනාගාරයේදී මට මෙතුමා කිව්වා, එතුමාලාට සහාය දෙන්න කියලා. මට පස්සේ තමයි තේරුණේ ඒ කියපු කතාව මොකක්ද කියලා’ යනුවෙන් මංගල සමරවීර ඔක්තෝබර් 26 වැනිදා දහවල් පාර්ලිමේන්තු භෝජනාගාරයේදී ඇති වූ සිද්ධියක් සිහිපත් කළේය.

‘මං 26 වැනිදා රාත්‍රි අය – වැය කතාව මගේ කම්පියුටරේ ටයිප් කර කර ඉන්නකොට තමයි මේ කුමන්ත්‍රණය සිදුවෙලා තියෙන පණිවුඩය මට දැනගන්නට ලැබුණේ.’ මංගල යළිත් පැවැසීය.
‘ඔය පාරත් පෙරළනකොට මං අනාවැකියක් කියන්නම්’ මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක කියපු කතාවට මංගලටද සිනහ ගියේය.
ඉන්පසුව මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා අදහස් ප්‍රකාශ කෙළේය.

‘අපි විපක්ෂයේ වාඩිවෙලා ඉන්නකොට ආණ්ඩුව හිතන්න එපා අපි නිකන් ඉඳීවි කියලා. ඔය පුටුත් නැතිවෙන්න පුළුවන් බව මතක තියාගන්න. අද මේ ආණ්ඩුවට ජනතා ආශීර්වාදයක් නැහැ. මේ ආණ්ඩුවට එරෙහිව ජනතාව ඉතා වේගයෙන් නැඟී සිටිනවා. අපි කුමන්ත්‍රණය කරලා ආණ්ඩු පිහිටෙව්වේ නැහැ. මේ ආණ්ඩුව පසුගිය අවුරුදු තුනහමාර තුළ කරගෙන ගිය වැඩ නිසා රටේ කර්මාන්ත කඩාගෙන වැටුණා. ලක්ෂ 5කට පමණ රැකියා නැතිවුණා. අපි ඇවිල්ලා තෙල් මිල අඩු කළා. අපි තෙල් මිල අඩු කරන්න කලින් තෙල් මිල අඩු කරන්න මේ ගොල්ලන්ට බැරි වුණේ ඇයි? බදු බර ජනතාව මත වැඩි කරලා, ජනතාව බදු බරින් මිරිකලා භාණ්ඩාගාරය පුරවලා වැඩක් නැහැ. අපි වැට් බද්ද අඩු කළා. කෘෂි නිෂ්පාදන ක්‍ෂේත්‍රයට විශාල වශයෙන් බදු සහන ලබාදුන්නා. පොහොර සහනාධාරය අප යළි ක්‍රියාත්මක කළා.’ යනුවෙන්ද මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා ප්‍රකාශ කෙළේය.

පුද්ගලයකුට පහරදුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රංජිත් ද සොයිසා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා සිටින්නේ කුරුවිට බන්ධනාගාරයේය.

විශේෂ ආරක්ෂාවක් යටතේ 21 වැනි දින පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ සිටි අතර විපක්ෂයේ මෙන්ම ආණ්ඩු පක්ෂයේ ජනතා නියෝජිතයෝද මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයාද රංජිත් ද සොයිසා මන්ත්‍රිවරයාගේ සැපදුක විමසුවේය. රංජිත් ද සොයිසා මන්ත්‍රිවරයාගේ බිරිය හා දරුවන් දෙදෙනාද පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ සිටි අතර ඔවුන් සියලු දෙනාම මන්ත්‍රිවරුන්ගේ අමුත්තන්ගේ භෝජනාගාරයට වී දිවා ආහාරය ලබාගත්හ.
එදින විවාදයට සහභාගි වූ රංජිත් ද සොයිසා මන්ත්‍රිවරයා ආණ්ඩුවට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමටද අමතක නොකෙළේය.

‘කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙනකොට අපි දැක්කා හැකිළිච්ච මුහුණු, බෙරිවෙච්ච මුහුණු, මැලවිච්ච මුහුණු. පුළුවන් නම් කැබිනට් මණ්ඩලය 48 දක්වා වැඩිකරන්න කියලා අපි ආණ්ඩුවට අභියෝග කරනවා. මේ ආණ්ඩුව මැතිවරණවලට බයයි. පුළුවන් නම් අවුරුදු 1 1/2 ක් ගත වෙලත් තවමත් පවත්වන්න බැරි වුණු සබරගමුව පළාත් සභා ඡන්දය පවත්වන්න කියලා මං මේ ආණ්ඩුවට අභියෝග කරනවා’ යනුවෙන්ද රංජිත් ද සොයිසා මන්ත්‍රිවරයා විසින් ඉතා වේගවත් කතාවක් සිදු කරන ලදී.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ආණ්ඩු පක්ෂයෙන් අසන ලද ප්‍රශ්නයක් හේතුවෙන් ආණ්ඩුවට තවත් ප්‍රශ්න වැලකට පිළිතුරු ලබාදීමට සිදුවිය.

‘කැබිනට් මණ්ඩලය පත්කිරීමට අගමැතිතුමා ජනාධිපතිතුමාට නම් කීයක් යැව්වාද?’ අනුර කුමාර දිසානායක ප්‍රශ්න කළේය.

‘නම් 35ක් යැව්වා’ ඊට පිළිතුරු ලබා දුන්නේ පාර්ලිමේන්තුවේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාය.

‘හැබැයි ඔබතුමා මගෙන් ඔහොම ප්‍රශ්න අහන්න මේක උසාවියක් නොවෙයි’ ලක්ෂ්මන් කිරිඇල්ල යළිත් අනුර කුමාර දිසානායකට කීවේය.

‘මට දැනගන්න ඕන වුණේ ඕකයි. ජාතික ආණ්ඩුවක් නොවන අවස්ථාවක නම් 35ක් යැව්වේ කෙහොමද?’ ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය.

-ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු –

RSL

Related Posts