පසුගිය රජයේ පව් ගෙවන්න තරුණ පරම්පරාවට ඉඩ තබන්නේ නෑ – අගමැති රනිල් කියයි

Spread the love

පසුගිය රජයේ පව් නිසා ණයකාරයන් බවට පත්ව සිටින මේ රටේ තරුණ පරම්පරාව ණයකාරීත්වයෙන් මුදවා ඔවුන්ට සුරක්ෂිත අනාගතයක් උදාකර දෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පළාත් පාලන මැතිවරණය නිමිත්තෙන් මහනුවර පැවැති එක්සත් ජාතික පෙරමුණේ මංගල රැලිය අමතමින් පැවසුවේය.

අනුන්ගේ පව් ගෙවීමට තරුණ පරම්පරාවට ඉඩ තැබීමට තමන් අකමැති බවත් ඒ මහතා කීය. මහනුවර මධ්‍යම වෙළෙඳ පොළ ඉදිරිපිට දී (18)ඊයේ පස්වරුවේ පැවැති එක්සත් ජාතික පක්ෂ මංගල රැලියට දහස් සංඛ්‍යාත ජනතාවක් පැමිණ සිටියහ.

පසුගිය රජය වසර හයක් තිස්සේ ණය ලබාගත් ණය ඔවුන්ට ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වීමෙන් රට විශාල ආර්ථික අර්බුදයකට පත්ව තිබිය දී බාර ගත් රට පසුගිය වසර තුනක කාලය තුළ දී ආර්ථික ස්ථාවරත්වයක් කරා ගෙන ඒමට ආණ්ඩුවට හැකිවූ බවත් ලබාගත් ණය ගෙවීමට හැකි ශක්තිය දැන් ඇතිකර තිබෙන බැවින් තරුණ පරපුරට හොඳ අනාගතයක් ලබාදීම අසීරු නොවන බවත් ඒ මහතා පැවැසීය.

ඩොලර් කෝටි 150ක ආයෝජන පසුගිය වසර තුළ මෙරටට ලැබුණු බවත් මෙම වසරේ එය තවත් වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරන බවත් ඒ මහතා කීය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කළ දකුණේ අධිවේගී මාර්ගය ඇතුළු සංවර්ධන ව්‍යාපෘති ගණනාවකට ගත් මුදල් ගෙවීමට සිදුවූයේ වත්මන් ආණ්ඩුවට බවත් අගමැතිවරයා ප්‍රකාශ කළේය.

ජනපතිවරණය හා මහමැතිවරණ ජයග්‍රහණය කිරීමෙන් පසු ලබා ගත්තේ ණය ගෙවීමටවත් ප්‍රමාණවත් ආදායමක් නොමැති රටක් බවත් මහින්ද එදා නියමිත කාලයට පෙර ජනපතිවරණය තිබ්බේ ඉදිරියේ එන ආර්ථික අර්බුදයට පෙර බලය තහවුරු කර ගැනීමේ අරමුණින් බවත් කී අගමැතිවරයා අභියෝග ජය ගනිමින් පසුගිය වසර තුන තුළ රට ආර්ථික ස්ථාවරත්වයකට ගෙන ඒමට ආණ්ඩුවට හැකිවූ බව ද අවධාණය කළේය.

රටේ සංවර්ධනය ගමට ගෙන ඒම සඳහා එජාපයට පළාත් පාලන ආයතන තුළ තනි බලයක් ලබාදෙන ලෙස තමන් ජනතාව ගෙන් ඉල්ලා සිටින බව ද මෙහි දී අගමැතිවරයා කීය.

RSL

Related Posts