අතීතය අමතක කර රාජපක්ෂලාගේ කුමන්ත්‍රණයකට පුද්ගලික මාධ්‍යයේ සහය – අගමැති කියයි

Spread the love

ප්‍රජාතන්ත්‍රවාදය බිඳ දැමීමටත් රට නැවතත් රාජපක්ෂ යුගය කරා ගෙන ගොස් දූෂිත ගනු-දෙනු මඟින් මුදල් ඉපයීමටත් සමහර පෞද්ගලික මාධ්‍ය ආයතන කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (04) පැවැසීය.

පෞද්ගලික මාධ්‍ය ආයතන ප්‍රධානීන් නිශ්ශබ්දව සිටිය දී රජයේ පරිපාලනය සහ සමහර සිවිල් සංවිධානවල සහයෝගය මත මාධ්‍ය නිදහස සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන බවට අගමැති වික්‍රමසිංහ මහතා කීය. මාධ්‍යවේදීන්ට එල්ල වන ප්‍රචණ්ඩත්වයට එරෙහිව පෙළ ගැසීමට අපේ රටේ මාධ්‍ය ප්‍රධානීන්ට උනන්දුවක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මාධ්‍යවේදීන්ට එල්ල වන ප්‍රචණ්ඩත්වයට එරෙහි අන්තර්ජාතික සමුළුවට මාධ්‍ය නියෝජනය කරන ප්‍රධානීන් නොපැමිණියේ පසුගිය රජය සමයේ මාධ්‍යවේදීන්ට එරෙහිව සිදු වූ ප්‍රචණ්ඩත්වයට එරෙහිව පෙළ ගැසිමට ඔවුනගේ උනන්දුවක් නොමැති නිසාදැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රශ්න කළේය.

මාධ්‍යවේදීන්ට එරෙහිව එල්ලවන ප්‍රචණ්ඩත්වය පිළිබඳව ඔවුන්ගේ උනන්දුවක් නැත්තේ ඔවුනට මාධ්‍ය නිදහස අවශ්‍ය නැති නිසාද? පවතින ආණ්ඩුව පෙරලා දමා රාජපක්ෂ රෙජිමය යළි ගෙනවිත් නැවතත් මාධ්‍යවේදීන් මරා දැමීමට ඉඩ දීමට අවශ්‍ය නිසාද? යැයි විමසූ අගමැති වික්‍රමසිංහ මහතා රාජපක්ෂ රෙජිමය යටතේ මාධ්‍යවේදීන්ට සිදු වූ අපරාධ එකකවත් ඡායාරූප මාධ්‍යවල පළ නොකළ බවත් පසුගිය රජය සමයේ මාධ්‍යවේදීන්ට සිදු වූ අකටයුතුකම් ගැන කිසිම මාධ්‍යවේදීයෙක් තමන්ගෙන් ප්‍රශ්න නොකරන බවත් අගමැතිවරයා කීය. අගමැති වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ කොළඹ, තාජ් සමුද්‍රා හෝටලයේදී ඊයේ (04) පැවැති මාධ්‍යවේදීන්ට එල්ල වන ප්‍රචණ්ඩත්වයට එරෙහි අන්තර්ජාතික සමුළුවට සහභාගී වෙමිනි.

පසුගිය රජය සමයේ මාධ්‍යවේදීන්ට පහර දුන් බවත් අත් අඩංගුවේ තබා ගත් බවත් කී අගමැතිවරයා රාජපක්ෂ රෙජිමය එම අපරාධ කිසිවක් සම්බන්ධයෙන් ක්‍රියා මාර්ග නොගත් බවත් කීය. එවැනි දේට එරෙහිව පවත්වන මෙම සමුළුවට මාධ්‍යවේදීන්, මාධ්‍ය ප්‍රධානීන් පැමිණේවි යැයි තමා බලාපොරොත්තු වුවත් පැමිණ ඇත්තේ රජයේ මාධ්‍ය ආයතන දෙකක සභාපතිවරුන් සහ එක් පෞද්ගලික මාධ්‍යයක කර්තෘවරයෙක් පමණක් බවත් පෙන්වා දුන්නේය.

මෙයින් අදහස් කරන්නේ මාධ්‍ය නිදහස අවශ්‍ය නැති බව ද? රාජපක්ෂ රෙජිමය නැවතත් අවශ්‍ය බවද? ආණ්ඩුව නැති කර දමා හෝ නැවත රාජපක්ෂ රෙජිමය ගෙනැවිත් නැවතත් මාධ්‍යවේදීන් මරාදමන්නට ඉඩදෙමු කියන කාරණය ද? නැතිනම් ඔවුන් කියන්නේ වෙන මොනවාද? කියා අගමැති වික්‍රමසිංහ මහතා මෙහිදී ප්‍රශ්න කළේය.

ලසන්ත වික්‍රමතුංග, ප්‍රදිප් එක්නැලිගොඩ, කීත් නොයාර්, උපාලි තෙන්නකෝන්, උදයන් පුවත් පතේ මාධ්‍යවේදීන්ට පහරදීම්, ජීවිත නැති කිරීම් පිළිබඳව මාධ්‍යවේදීන්ට කිසිම උනන්දුවක් නැති බව මෙම මාධ්‍ය පිරිස නොකියා කියන බව කී වික්‍රමසිංහ මහතා අජිත් පෙරේරා මහතාගේ ඡායාරූප පස්වතාවක් පුවත් පත්වල පළ කළ අය ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඡායාරූපය පළ කර ඒ මිනිසාට වුයේ කුමක්දැයි තමාගෙන් විමසිමක් නොකළ බවද කීය.

මාධ්‍යවේදීන් වර්තමාන ආණ්ඩුවට පහර ගසන්නේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය තුළ ජිවත් වන නිසා බවද මාධ්‍ය නිදහස ආරක්ෂා කිරිමට ආණ්ඩුවට පමණක් සිදු කළ නොහැකි බව පෙන්වා දුන් අගමැති වික්‍රමසිංහ මහතා අතපසුවීම් සිදු වුවත් ආණ්ඩුව පොරොන්දු වු දේ සිදු කරන බවද කීය. ආණ්ඩුව මාධ‍්‍යවේදීන් ආරක්ෂා කිරීමට වන උනන්දුව ඔවුන් සේවය කරන සමාගම්වලින් දක්වනවාදැයි විමසූ අගමැතිවරයා එදා මාධ්‍යවේදීන්ට ප්‍රචණ්ඩත්වය එල්ල වන විටද ඔවුන් නිශ්ශබ්දව රාජපක්ෂ රෙජිමය සමග හවුල්ව ව්‍යාපාර සිදු කළ බවද කීය. සමහර මාධ්‍යවලට ප්‍රජාතන්ත්‍රවාදය එපා වී ඇති බවත් අගමැතිවරයා පැවසීය.

මෙම වැදගත් සමුළුවේදී තමාට රටෙන් අසන්නට ඇත්තේ අප මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමට මෙහි පැමිණි අවස්ථාවක මාධ්‍ය නියෝජනය කරන ප්‍රධාන පුද්ගලයන් මෙහි නොපැමිණියේ ඇයි? යන ප්‍රශ්නය බවත් ඔවුන්ට අවශ්‍ය මාධ්‍ය ආරක්ෂා කිරීමද නැතිනම් මාධ්‍ය නිදහස පාවිච්චි කොට ආණ්ඩුවේ යහපාලනයට පහර ගසා රාජපක්ෂ රෙජිමයක් නැවත ඇති කරන්න ද? යන ප්‍රශ්නය ඇති වෙන බවද කීය. මේ කාරණයෙන් එක් කරුණක් ඔප්පු වෙන බවත් සමහර කරුණු හෙළි දරව් නොකරන්නේ ඇයි ද යන වගත්, මෙතරම් පහර ගහන්නේ ඇයි යන වගත් ඔවුන්ගේ මේ ක්‍රියාවෙන්ම ඔප්පු වෙන බවද කී අගමැති වික්‍රමසිංහ මහතා තමාගේ මේ කතාව මාධ්‍යවල පළ කරාවිදැයි කියා සැක පළ කළේය. තමා මේ කතාව අවසන් කළ මොහොතේ සිට තමට බනින්නට නිදහස ඇති බවත් හෙට සිට තමාට තවත් පහර ගැසුවත් සත්‍ය තත්ත්වය කිව යුතු බවද අගමැතිවරයා වැඩිදුරටත් කීය.

RSL

Related Posts