නායකත්ව පුහුණුවේදී විදුහල්පතිනියක මිය යෑම: අධ්‍යාපන අමාත්‍යංශයේ ලොක්කෝ රැසකට වැඩ වරදී

Spread the love

අධ්‍යක්ෂ-නි.අධ්‍යක්ෂ තනතුරුවලින් ඉවතට
අතිරේක ලේකම්වරුන් 2ක් ඇතුළු 11කට විනය පරීක්ෂණ

නායකත්ව පුහුණු වැඩමුළුවක් අතරතුර විදුහල්පතිනියක මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ මානව සම්පත් සංවර්ධන අංශයේ අධ්‍යක්ෂවරයා සහ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා එම තනතුරුවලින් ඉවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් දෙදෙනෙකු ඇතුළු නිලධාරින් ‍එකොළොස් දෙනෙකුට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමටද තීරණය වී තිබේ. මේ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා විසින් විමර්ශන වාර්තාවක් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා වෙත බාරදී තිබෙන අතර එහි සඳහන් සියලු නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසට උපදෙස් දී තිබේ.

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන් සඳහා ස්වයං විනය, ආයතනික විනය සහ නායකත්ව පිළිබඳ පුහුණුව ලබාදීමේ වැඩසටහනක් අතරතුර සිදු වූ හදිසි අනතුරක් හේතුවෙන් හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිවරිය පසුගිය 17 වනදා ජීවිතක්ෂයට පත්විය. රාජකාරි පුහුණුවක් අතරතුර නිලධාරියෙකු අනතුරට පත් වීමේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින් පූර්ණ අපක්ෂපාතී විමර්ශනයක් සිදුකොට ඒ සම්බන්ධයෙන් වන වාර්තාවක් කඩිනමින් තමාට ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතාට නියෝග කළේය. අදාළ වාර්තාව අමාත්‍යවරයා වෙත භාරදුන් අතර එම විමර්ශනයට අදාළ සියලු නිර්දේශයන් ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍යවරයා විසින් අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නේය.

ඒ අනුව ජාතික පාසල් විදුහල්පතිවරුන් සඳහා ස්වයං විනය, ආයතනික විනය සහ නායකත්ව පිළිබඳ බැහැරගත පුහුණු වැඩසටහනට අදාළ ව, පුහුණුව සැලසුම් කිරීමේ සිට, මිල ගණන් කැඳවීම, ආයතන තෝරා ගැනීම සහ සංවිධානය කිරීම සම්බන්ධයෙන් වගකීම් විරහිතව, අනවධානයෙන් සහ නොසැලකිලිමත් ලෙස තම රාජකාරි වගකීම් පැහැර හරිමින් ක්‍රියා කළ බවට සනාථ වී ඇති පහත සඳහන් නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.

මානව සම්පත් සංවර්ධන අංශය භාර අතිරේක ලේකම් (පාසල් කටයුතු)

මානව සම්පත් සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ

මානව සම්පත් සංවර්ධන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ

ප්‍රසම්පාදන අංශය භාර අතිරේක ලේකම්

ප්‍රසම්පාදන අංශයේ ගණකාධිකාරීවරිය

තාක්ෂණ ඇගයීම් කමිටු සාමාජිකයන්

ප්‍රසම්පාදන කමිටු සාමාජිකයන්

මානව සම්පත් සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරු දැරූ නිලධාරීන් එම තනතුරුවලින් වහාම ඉවත් කිරීමටද නිර්දේශ වී තිබේ.

එම පුහුණු වැඩසටහන සංවිධාන කළ අමාත්‍යාංශයේ මානව සම්පත් සංවර්ධන ශාඛාවේ වගකීම්, අදාළ අංශය භාරව කටයුතු කළ අතිරේක ලේකම්වරයාගේ (පාසල් කටයුතු) විෂය පථයෙන් වහා ඉවත් කිරීමටද අදාළ විමර්ශනය මගින් නිර්දේශ කර තිබේ.

නිලධාරීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිසි ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය නොකළ අදාළ බැහැරගත පුහුණු වැඩමුළුව පවත්වන ලද Sri Lanka Outdoor Adventure School ආයතනය අසාදු ලේඛන ගත කිරීමටද නිර්දේශ කර තිබේ.

මෙම අවාසනාවන්ත සිදුවීමෙන් දිවි අහිමි වූ හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිනි රේණුකා කුමාරි අතපත්තු මහත්මියගේ සැමියාට හා දරුවන්ට වන්දි මුදලක් ලබා දීමට සහ ඇයට හිමි වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප්, මෙන්ම දරුවන් සඳහා හිමිවන රක්ෂණාවරණ ප්‍රතිලාභ ද කඩිනමින් සකස් කර දීමටද පියවර ගැනෙනු ඇති.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා, මිනිස් ජීවිත පිළිබඳ වගකීමෙන් යුතුව වැඩ කිරීමේදී නොසැලකිලිමත් බව හෝ නිදහසට කරුණු ඉදිරිපත් කිරීමෙන් ඵලක් නොමැති බව අවධාරණය කළේය.

එමෙන්ම මෙවැනි සිදුවීම් හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ කීර්තිනාමය සහ ජනතා විශ්වාසය පළුදු වී යන බැවින් නැවත මෙවැනි අවාසනාවන්ත සිදුවීම් ඇති නොවීම සඳහා වගකිවයුත්තන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙසද අධ්‍යාපන අමාත්‍යවරයා ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබේ.

-දිනමිණ-

RSL

Related Posts