අත්‍යවශ්‍ය භාණ්ඩ සහන මිලට දෙන්න අගමැතිගෙන් ක්‍රමවේදයක්

Spread the love

රටේ ජනතාවට සහන මිලට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දී සහන සැලසීම වෙනුවෙන් ප්‍රථම වතාවට රාජ්‍ය හා පුද්ගලික අංශය ඒකාබද්ධ ක්‍රමවේදයක් සකස් කළ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

පෞද්ගලික අංශය මඟින් සහන ලබාදීම සඳහා එම ආයතනවලට යම්යම් සහන ලබා දීමට රජයට සිදු වන බව පෙන්වා දුන් අගමැති වික්‍රමසිංහ මහතා කෙටි කාලයක් තුළ බෙදා හැරිමේ යාන්ත්‍රණයක් හරහා සිල්ලර වෙළඳසල් දක්වාද භාණ්ඩ සහන මිලට බෙදා හැරිමට නියමිත බව ද පැවසීය.

රුපියල් මිලියන 140ක වියදමින් ඉදි කළ ගම්පහ නගරයේ බස්නැවතුම් පොළ දෙවන අදියර ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙන් පසුගිය (15) වැනිදා පැවැති උත්සවයට සහභාගීවෙමින් එසේ කී රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට රජය කඩිනමින් පියවර ගන්නා බව ද සිහිපත් ක‍ළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා,

“ගම්පහ නගරයේ දියුණුව ආරම්භ වුණේ 1978 වර්ෂයෙන් පසුවයි. 1977 මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසුව කොළඹට අයිතිව තිබූ මෙම ගම්පහ ප්‍රදේශය එක් දිස්ත්‍රික්කයක් බවට පත්කිරීමට එවකට ජනාධිපති ලෙස කටයුතු කළ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාට ඉල්ලීම් කළා. ඊට එකඟ වෙමින් ගම්පහ ප්‍රදේශය එක් දිස්ත්‍රික්කයක් බවට පත් කළ අතර මෙම දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරය බවට ගම්පහ නගරය පත් වුණා. එම නව දිස්ත්‍රික්කයේ ප්‍රධාන පරිපාලන නගරය බවට ගම්පහ පත්වූ අතර සංචාරක ධීවර හා කර්මාන්ත ක්ෂේත්‍ර මීගමුව සහ ජාඇල ප්‍රදේශවලට ව්‍යාප්ත වුණා.

ටියුඩර් ගුණසේකර, ආරියරත්න ජයතිලක, ඩොනල්ඩ් දිසානායක ආදී අපේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගම්පහ ප්‍රධාන පරිපාලන නගරය බවට පත් කරගනිමින් විශාල දියුණුවක් ඇති කළා. ඒවගේම අජිත් මාන්නප්පෙරුම මැතිතුමා නගරාධිපති බවට පත්වීමෙන් පසුවත් ගම්පහ නගරයේ සංවර්ධන කටයුතු තවදුරටත් වේගවත් වුණා. එක්සත් ජාතික පක්ෂ රජයන් සහ වෙනත් ආණ්ඩු යටතේත් ගම්පහ වර්තමානයේ ලබා ඇති දියුණුවට පත්වූයේ ඒ ආකාරයටයි.

2015 මැතිවරණයෙන් පසුව අජිත් මාන්නප්පෙරුම මැතිතුමා මේ ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස තේරී පත්වෙමින් ගම්පහ සංවර්ධනය තව දුරටත් ඉදිරියට ගෙන යෑමට කටයුතු කරමින් සිටිනවා. එම වගකීම බාරගනිමින් එතුමා විශාල වැඩ කොටසක් සිදු කරමින් සිටිනවා. ගම්පහ ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරයක් බවට පත් කිරීම අපේ බලාපොරොත්තුවයි.

මීට පෙර ශ්‍රී ලංකාවේ වැඩිම ජනාකීර්ණ ප්‍රදේශ ලෙස සැලකුණේ කොළඹ ඇතුළු මුහුදුබඩ ප්‍රදේශයි. නමුත් වර්තමානය වන විට පෑලියගොඩ සිට ගම්පහ දක්වා කලාපය ලංකාවේ වැඩිම ජනතාවක් ජීවත්වන ප්‍රදේශයක් ලෙසයි සැලකෙන්නේ. එවැනි විශාල ජනතාවක් සහිත ගම්පහ නගරය සැලැස්මකට අනුව දියුණු කිරීමට කටයුතු කිරීම පිළිබදව අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීතුමාට ස්තුතිවන්ත විය යුතුයි. ඒ සඳහා අපේ සහයෝගය ලබාදෙන බව ද අපි ඔහුට පවසා තිබෙනවා.

එක් පසෙකින් ජාඇල නගරයත්, අනෙක් පසින් උඩුගම්පළ නගරයත්, ඒවගේම මහර – කඩවත දක්වාත් තවත් පසෙකින් යක්කළ නගරය දක්වාත් මේ විශාල ප්‍රදේශය පැතිරී තිබෙනවා. තවත් වසර 10ක් පමණ ගතවන විට මේ ප්‍රදේශය විශාල දියුණුවක් සහිත අති විශාල නගරයක් බවට පත්වීමට නියමිතයි.

අද ගම්පහ නව බස් නැවතුම්පොළ විවෘත කිරීමට අපිට හැකි වුණා. ඒ වෙනුවෙන් බස්නාහිර සංවර්ධන හා මහනගර අමාත්‍යාශයටත් එහි ඇමැති පාඨලි චම්පික රණවක මැතිතුමාටත් ස්තුති වන්ත වෙනවා. එතුමා නාගරික සංවර්ධනය වෙත විශේෂ අවධානයක් යොමු කරමින් නගර අලංකරණය කිරීමත්, නගර සංවර්ධනයත් යන කාරණා දෙකම එකවර ඉටු කරනවා. ජනතාවට සේවයක් සිදු නොවනවා නම් නගරයක් අලංකරණය කිරීමෙන් පමණක් පලක් නැහැ. එසේ නම් අපේ රජය මෙවැනි විශාල වැඩකොටසක් සිදු කරන්නේ ජනතාවට සේවය කිරීම අරමුණු කරගෙනයි.

බස්නාහිර පළාත තවත් වසර 10 – 15ක් පමණ ගත වන විට අති විශාල නාගරික ප්‍රදේශයක් බවට පත්වෙනවා. එසේ නම් බස්නාහිර සංවර්ධන හා මහ නගර අමාත්‍යාශය යටතේ මේ ප්‍රදේශය සංවර්ධනය කිරීමට අවශ්‍ය සැලසුම් සහ යටිතල පහසුකම් දියුණු කිරීමේ වැඩකටයුතු අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙනවා. මෙම අමාත්‍යාංශය භාර ගැනීමෙන් පසු එතුමාට අවධානය යොමු කළ යුතු ප්‍රධාන කාරණා දෙකක් තිබුණා. ඉන් පළමු කරුණ වන්නේ අපේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ඉදිකිරීම් හා ව්‍යාපෘති කටයුතු වෙනුවෙන් අවශ්‍ය මුදල් සොයා ගැනීමයි.

අපේ ආණ්ඩුව යටතේ එම මුදල් අපි එතුමාගේ අමාත්‍යාංශයට ලබාදුන්නා. ඒ වගේම අනෙක් ප්‍රධාන කාරණය වූයේ පැවැති ආණ්ඩුව ඉදිකිරීම් හා ව්‍යාපෘති සඳහා ලබාගත් ණය ගෙවා දැමීමයි. ඔවුන් ගොඩනැගිලි ඉදි කළත් ඒවායේ ණය බර අපේ ආණ්ඩුවට දැරීමට සිදු වුණා. පාඨලි චම්පික අමාත්‍යතුමා සහ එම අමාත්‍යාංශය මෙම සංවර්ධන කටයුතු ආරම්භ කළේ එම සියලූ ගැටලු කළමනාකරණය කර ගැනීමෙන් අනතුරුවයි.

එම අමාත්‍යාංශය යටතේ මෙවැනි ව්‍යාපෘති විවිධ ප්‍රදේශවල ආරම්භ කර තිබෙනවා. ඒ යටතේ අද දින අප ජනතා අයිතියට පත් කරන මෙම නව බස් නැවතුම්පොළ හරහා මේ ප්‍රදේශයේ ජනතාවට කාලයක් තිස්සේ ඇතිව තිබූ ගැටලු රැසකට පිළිතුරු ලැබී තිබෙනවා. අප ආණ්ඩුවක් ලෙස ක්‍රියා කරන්නේ මෙරටේ ජනතාවගේ ගැටලු සඳහා විසදුම් ලබාදීමටයි. ආණ්ඩුවක් ලෙස ජාතික මට්ටමේ ප්‍රශ්න ගණනාවකටත්, බිම් මට්ටමේ එදිනෙදා ඇතිවෙන ප්‍රශ්න ගණනාවකටත් මුහුණ දීමට සිදුවෙනවා. අප ආණ්ඩු බලය ලබා ගන්නා විට රට විශාල ණය බරක සිරවී සිටියා. ඒවගේම දේශපාලන සමගියක් තිබුණේ නැහැ. අපට මෙම ගැටලු විසදා ගනිමින් සාර්ථකව ඉදිරියට යාමට හැකියාව ලැබුණා.

අද රටේ ප්‍රධාන ප්‍රශ්නය වී තිබෙන්නේ ජීවන වියදමයි. ජීවන වියදම ශීඝ්‍රයෙන් ඉහළ යාමට අපේ රටේ වර්තමානයේ ඇති වී තිබෙන දේශගුණික රටාවද එක් හේතුවක්. කලට වේලාවට මෝසම් වැසි නොලැබීමෙන් ඇතැමුන්ගේ වගා අත්හැර දැමීමට සිදු වූ අතර වගා කිරීමේ කාලයන් ද වෙනස් වුණා. වගා ආශ්‍රිත නිෂ්පාදන කටයුතු කාල චක්‍රයක් මත හරියාකාරව සිදු නොවූ නිසා විවිධ ගැටලු ඇතිවුණා. මෙය පසුගිය වසර දෙක තුන තුළ ශ්‍රී ලංකාව මුහුණ දෙන ප්‍රශ්නයක්. මෙය දීර්ඝ කාලීනව ශ්‍රී ලංකාවට බලපානවාද නැද්ද යන්න පිළිබදව දැන්ම අනාවැකි කීමට නොහැකියි. නමුත් අපේ රජය ඊට විසැදුමක් ලෙස එළඹෙන සිංහල අලූත් අවුරුදු සමය වන තුරුම අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක් සහන මිලට ජනතාවට ලබාදීමට තීරණය කර තිබෙනවා.

හාල්, පොල්, සහ එළවළු මිල ඉහළ යාම අද විශාල ප්‍රශ්නයක් වී තිබෙනවා. රජයක් ලෙස අප ඊට විසඳුම් සෙවිය යුතුයි. නොවැම්බර්, දෙසැම්බර් පමණ වන විට වී වගා කරන ප්‍රදේශවලට වැසි ලැබී සහල් අර්බූදය විසැදෙනු ඇතැයි අප කල්පනා කළා. නමුත් එසේ සිදුවුණේ නැහැ. ඒ අනුව අප බලාපොරොත්තු වූ අස්වැන්න ලැබුණේ නැහැ. රටේ සහල් මිල ඉහළ යාමට ප්‍රධාන කරුණ වූයේ එයයි. පසුගිය සඳුදා සහ අඟහරුවාදා දිනවල ජනාධිපතිතුමත්, මමත් ජීවන වියදම් පාලනය කිරීමේ කමිටුව හමුවී මේ පිළිබදව සාකච්ඡා කළා. රාජ්‍ය අංශයට ශ්‍රී, ලංකාවේ සම්පූර්ණ ජනතාවට සහන ලබාදීමට අවශ්‍ය යාන්ත්‍රණයක් නොමැති නිසා එම සාකච්ඡාවලට පුද්ගලික අංශයත් කැදවීමට අප තීරණය කළා.

එම සාකච්ඡාවේ දී සහල්, පරිප්පු, අල, ලූනු, සීනි, හාල්මැස්සන්, ටින් මාළු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් සහන මිලකට ලබාදීමට තීරණය කෙරුණා. රට පුරා බෙදාහැරීමට, ඇසුරුම් කිරීමට යන වියදම නොසලකමින් සහන මිලට එම භාණ්ඩ ජනතාවට ලබාදීමටයි අප තීරණය කළේ. එසේ නම් සිංහල අලූත් අවුරුදු සමය වන තුරුම එවැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක් තොග මිලටම ජනතාවට ලබාදීමට අප තීරණය කර තිබෙනවා. සිංහල අලූත් අවුරුදු සමය උදා වන විට කාලගුණය යහපත් වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. ඒ කාලය වන තුරු ජනතාවට කුසගින්නේ සිටීමටවත්, ගැටලුවලට මුහුණ දීමටවත් අප ඉඩ තියන්නේ නැහැ.

මෙය වචනයෙන් පැවසීම ලෙහෙසියි. නමුත් මෙම වැඩකටයුතු ක්‍රියාවට නැංවීම සඳහා එම අදාළ සමාගම් වෙත යම් යම් සහන ලබාදීමට රජයක් ලෙස අපට සිදුවෙනවා. මෙම වැඩකටයුතු සඳහා සතොස, කාගිල්ස්, ජෝන් කිල්ස්, රිචඩ් පීරිස්, ලාෆ්ස්, සිලෝන් බිස්කට් වැනි සමාගම් ගණනාවක් කැදවූවා. එම සමාගම් ඒ සඳහා එකඟතාව පළ කළා. නමුත් මෙම සමාගම් හරහා බඩු භාණ්ඩ මිල දී ගන්නේ ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් 30% පමණයි.

එසේ නම් රටේ අනෙකුත් සිල්ලර වෙළෙඳසල් සඳහා තොග මිලටම අලෙවි කිරීමට හැකි පරිදි මෙම භාණ්ඩ ලබාදීමේ වැඩසටහනක් සැකසිය යුතු වුණා. වෙනත් සමාගම් හෝ තමන්ගේ බෙදාහැරීමේ යාන්ත්‍රණයන් හරහා මෙම භාණ්ඩ ග්‍රාමීය ප්‍රදේශවලට ප්‍රවාහනය කිරිමට එම සමාගම් එකඟ කර ගැනීමට අපි කටයුතු කළා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රජය යටතේ ක්‍රියාත්මක වන සතොස ආයතනයත්, අනෙක් පුද්ගලික ආයතන සියල්ලත් එකට එකතු වී ජනතාවට සහනදායි මිලට භාණ්ඩ ලබාදීමේ වැඩකටයුත්ත ආරම්භ කර තිබෙනවා. කාගිල්ස් සමාගම සිය මිල අඩු කිරීමේ නිවේදනය ප්‍රකාශ කළා. තවත් කෙටි කාලයක් තුල ඔවුන්ගේ බෙදාහැරීමේ යාන්ත්‍රණය හරහා සිල්ලර වෙළෙඳසල් දක්වාද එම භාණ්ඩ සහන මිලට බෙදාහැරීමට නියමිතයි. ඉදිරි සති දෙක තුළ ග්‍රාමීය ප්‍රදේශවලට මෙම සහනය ලබාදෙන බවට අනෙක් සමාගම් සියල්ලද පොරොන්දු වුණා. ඊට අවශ්‍ය වැඩසටහන රජය විසින් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒවගේම මිලෙන් වැඩි භාණ්ඩ ආනයනය කිරීමටත්, අප එහි දී තීරණය කළා. එය මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා ප්‍රධාන කමිටුවකට භාර දී තිබෙනවා. ඒ අනුව රටේ ජීවන වියදම පාලනය කිරීම සඳහා ප්‍රධාන විසදුම් දෙකක් අප මේ වන විට ගෙන තිබෙනවා. ඒ හරහා බඩු මිල අඩුකිරීමටත්, ජනතාවට සහන මල්ලක් ලබාදීමටත් අපි කටයුතු කරනවා. ඒවගේම ජනවාරි මාසයේ දී මෙම වැඩපිළිවෙළ පිළිබදව ප්‍රගති සමාලෝචනයක් කරමින් එහි ඇති අඩුපාඩු සැකසීමට ද තීරණය කර තිබෙනවා.

ඒ අනුව රටේ ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රාජ්‍ය සහ පුද්ගලික ඒකාබද්ධ ක්‍රමවේදයක් අපි යොදවනවා. රජයක් ලෙස සංවර්ධන වැඩකටයුතු සහ මැතිවරණ කටයුතු ද ඉටු කරන අතර තුර ජනතාවට සහන ලබාදීම ප්‍රධාන යුතුකම බව අපි අවබෝධ කරගෙන සිටිනවා.

චම්පික ඇමතිතුමා පැවසූ ආකාරයට බඩු භාණ්ඩ හරහා අයුතු ලාභයක් ඉපයීමට අපේ ආණ්ඩුවට අවශ්‍යතාවක් නැහැ. ලෝකයේ බඩු මිල අඩු වන විට රටේ බඩු මිල අඩු කිරීමටත්, ලෝකයේ බඩු මිල වැඩි වන විට ඊට සාපේක්ෂව රටේ බඩු මිල වැඩි කිරීමටත් අපි සූදානම්. ඒවගේම ජනතාවට සහන ලබාදීමටත් අපේ රජය සූදානම්. එන වසරේ ආරම්භයේ සිට මේ සහන මල්ල ශ්‍රී ලංකාවේ සියලුම ග්‍රාමීය ප්‍රදේශ වෙත ලබාදීමට හැකිවෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ රජයේ සංවර්ධන වැඩකටයුතු යටතේ මෙම නව බස් නැවතුම්පොළ ඉදි කිරීමටත්, අද දිනයේ එය ජනතා අයිතියට පත් කිරීමටත් කටයුතු කළ සියලූම දෙනාට මම ස්තුති වන්ත වෙනවා.

RSL

Related Posts