ලැබූ ජයග්‍රහණය ගැන අගමැති සතුටින්

Spread the love

2019 වසරේ ලෝකයේ හොඳම සංචාරක ගමනාන්ත දහය අතුරෙන් මූලික ස්ථානය ශ්‍රී ලංකාව ලෙස ලෝක ප්‍රකට ලෝන්ලි ප්ලැනට් සංචාරක සඟරාව විසින් නම් කිරීම අපගේ සංචාරක ව්‍යාපාරය ලද ජයග්‍රහණයක් බවත් එම ජයග්‍රහණයෙන් උදම් නොවී අපේ සංචාරක ව්‍යාපාරය තව තවත් සංවර්ධනය කරලීම සඳහා නව මංපෙත් සෙවිය යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා ආගමික උරුමයන් වෙත මෙන්ම තවත් නවාංග වෙත සංචාරකයක් ආකර්ෂණය කරලීම සඳහා විධිමත් සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවද අග්‍රාමාත්‍යවරයා ජනමාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් අරලියගහ මන්දිරයේදී පෙරේදා (24) මෙම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් පළකරමින් හෙතෙම මෙසේද පැවසුවේය.

“2015 වසරේ සිට අපේ ආණ්ඩුව සංචාරක ව්‍යාපාරය සඳහා ප්‍රමුඛස්ථානයක් ලබාදීමට කටයුතු කළා. අද වන විට එහි ප්‍රතිඵල ලැබෙමින් තිබෙනවා. නමුත් මේ ප්‍රතිඵලයෙන් සෑහීමට පත්වී සංචාරක ව්‍යාපාරයේ ඉදිරි වැඩ කටයුතු නතර කළ නොහැකියි.

මේ ප්‍රතිඵලය ආරම්භයක් පමණක් බව සිහිපත් කළ යුතුයි. අප ක්‍රියාත්මක කරන අපනයන ආර්ථිකයේ ප්‍රධාන ස්ථානයක් හිමි වන්නේ සංචාරක ව්‍යාපාරයට. ඒ කෙටිකාලීන විදේශ විනිමය උපයාගත හැකි ව්‍යාපාරයක් ලෙසයි.

සංචාරක ව්‍යාපාරය යටතේ විශාල හෝටල් පමණක් නොව, නිවාස ආශ්‍රිත ආගන්තුක නවාතැන් ලබාදීම, කුඩා කඩසාප්පු හා අවන්හල් යනාදිය ස්ථාපිත කරමින් අප ඉදිරියට යායුතුයි. අපේ අඩුපාඩුකම් ඇති බවද අමතක නොකළ යුතුයි. එම අඩුපාඩු අප නිවැරදි කරගත යුතුයි.

වගේම විශාල වශයෙන් මුදල් වැය කරන සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතුයි. විශේෂයෙන්ම පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව පිළිබඳ පමණක් නොව අපට ලැබෙන ආදායම පිළිබඳවත් අප අවධානය යොමුකළ යුතු වෙනවා. ඒ නිසා සාමාන්‍ය මට්ටමේ සංචාරකයන් මෙන්ම ඉහළ මට්ටමේ සංචාරකයන් ආකර්ෂණය කරගැනීම සඳහා අපේ අවධානය යොමුකළ යුතුයි. අපගේ සංස්කෘතික හා ස්වාභාවික ස්ථානයන් ආරක්ෂා කරගත යුතුවනවා පමණක් නොව අලුත් අංගයන්ද ඇතුළත් කළ යුතුයි.

2019 වසරේ හොඳම සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කිරීම ඔස්සේ අපේ සංචාරක ව්‍යාපාරය තවත් තවත් දියුණු කොට දැනට ලැබෙන ආදායම දෙගුණයක් කරගැනීමට ඉලක්ක කරගනිමු යැයි මා අවසාන වශයෙන් පැවැසීමට කැමැතියි.”

RSL

Related Posts