දැයට ජීවය සපයන කෘෂිකාර්මික ක්ෂේත්රයේ නිරත වන්නන් කෘෂිකාර්මික ආදායම, ආදායම් බදුවලින් නිදහස් කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද(22) බෙලිඅත්ත ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකට එක්වෙමින් අනාවරණ කළේය.
මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙසේද පැවසුවේය.
“මම හිතන්නේ ව්‍යවස්ථානූකූලව කටයුතු කරන එකයි අපි කවුරුත් කරන්න ඕන. අධිකරණය ඉදිරියේ නඩුවක් තියෙන නිසා මම ඒ ගැන කතා කරන්නේ නැහැ. රටේ ජනතාව හැමෝම කථා කරන්නේ රටේ තියෙන අර්බුදය විසදන්න හොදම ක්‍රමය ජනතාව ඉදිරියට ගිහිල්ලා ජනතාවගේ කැමැත්ත උරගා බලන්න කියන එක. අපි හැම අවස්ථාවකදීම ජනතාව කෙරෙහි විශ්වාසය තියල තියෙනවා. ඡන්ද දායකයා මේ අර්බුදයට විසඳුමක් ලබා දේවි. රජයට තියෙන්නෙත් විපක්ෂයට තියෙන්නෙත් ඡන්දයට බය නැතුව, ඡන්දයට බයේ හැංගෙන්නේ නැතුව ජනතාව ඉදිරියට ඇවිල්ලා මේ මැතිවරණයට මුහුණ දෙන එක.
මැතිවරණයකින් කාගෙවත් ප්‍රජා අයිතිය නැති වෙන්නෙත් නැහැ. කෙනෙකුගේ මූලික අයිතිවාසිකම් නැතිවෙන්නෙත් නැහැ. වඩාත් වෙන්නේ රටේ ස්ථාවරත්වයක් ඇති වෙලා රටට හොඳ ආණ්ඩුවක් ඇවිල්ලා ඒ ආණ්ඩුව තුළින් ජනතාවට වඩාත් පහසුකම් ලබා දීමයි.
රටේ ජනාධිපතිවරයාට මරණීය තර්ජන ඇති වෙලා තියෙන වෙලාවක, රටේ ආර්ථිකය කඩාහැලෙන වෙලාවක, රටේ පරිපාලනය පිරිහෙන වෙලාවක අපිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තය විසින් මේ රජය භාර ගන්නැයි ආරාධනා කලා.
ඉතාමත් සතුටින් අපි එය භාර ගත්තා. එතුමා කිසිම විටෙක ව්‍යවස්ථාව උල්ලංඝණය කළේ නැහැ. ව්‍යවස්ථාව අනුව කටයුතු කරලා තමයි අපි බලයට ආවේ. මේ අවස්ථාවේදී අද පාර්ලිමේන්තුවේ කථානායකවරයාගේ අත්තනෝමතික ක්‍රියාපටිපාටිය නිසා ව්‍යවස්ථාවේ නැති බලතල පාවිච්චි කරමින් විධායක බලය පාවිච්චි කරමින් ඔහු කටයුතු කිරීම නිසා ඇති වී ඇති අර්බුදය මම අමුතුවෙන් කියන්න ඕන නැහැ.
අපි ගත්තම අපිට තේරුණා ජනතාව බදු බරින් මිරිකිලා හිටියේ. බඩු මිල අහස ඉහළට නැගලා. බදු අයකලා පුංචි කඩයකින් පවා. මෙවැනි තත්වයක් තිබුණු අවස්ථාවක බදු බරින් හිටිය අයව නිදහස් කරන්නට අපි පියවර ගත්තා.
කෘෂිකර්මාන්තයෙන් ලැබෙන සියලුම ආදායම්, ආදායම් බදු වලින් නිදහස් කරන්නට අපි පියවර ගන්නවා මේ සතියේදී. මේ කෘෂිකර්මාන්තය දියුණු කරන්න අනිවාර්යෙන් අවශ්‍යයි. සමහර අයට කෘෂිකර්මය අරහන්. පසුගිය ආණ්ඩුවට කෘෂිකර්මාන්තය පිළිබදව අවබෝධයක් තිබුණද මම දන්නේ නැහැ.
පිටරටින් ලැබුණු උපදෙස් තමයි කෘෂිකර්මාන්තය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න එපා කියන එක. ඒ නිසා කෘෂිකර්මාන්තයෙන් බදු අයකරන්න පටන් ගත්තා. අපි දැන් ඒක වෙනස් කරනවා. බෝග වලින්, වී වලින් ලැබෙන ආදායම ගැන අපි සොයල බලලා අවුරුදු පහක සහනයක් ලබා දීලා තවතවත් ඔවුන් කෘෂිකර්මය කෙරෙහි ධෛර්යමත් කරන්න පියවර ගන්නටයි අපි බලාපොරොත්තු වෙන්නේ.
මේ විදියට අපි රටේ බදු බර අඩු කරලා බඩු මිල අඩු කරලා ජනතාවට වඩාත් සහන සලසන ආණ්ඩුවක් තුළ අනවශ්‍ය බදු අය කරල අනවශ්‍ය විදියට ජනතාව පීඩනයට ලක් කරන්න අපි සූදානම් නැහැ.
අද සමහරු අද ලොකුවට කියනවා අපිව යම් යම් ආයතන වලින් අපිව පල්ලෙහාට දාලා තියෙනවා කියලා. හැබැයි කිසිම වෙනසක් සිදුවෙලා නැහැ එදා ඉදලා අද වෙනකල් දවස් විසිහතකට. මීට මාස තුනකට උඩදී ඒ ආණ්ඩුව තියෙනකොටත් ඒ ආයතන ඇවිල්ලා බලපු තත්වයට වඩා හොඳ තත්වයක් මිසක් නරක තත්වයක් අද රට තුළ ඇති වෙලා නැහැ.
අපිට ණය ගෙවන්න සල්ලි තියෙනවා. අද සමහරු කිය කිය යනවා පිටරටට ණය ගෙවන්න අපි ළග සල්ලි නැහැ කියලා. අපිට තියෙනවා සල්ලි. ඒ නිසා අපි ඒකට බය වෙන්නේ නැහැ. අපිට ණය ගෙවන්න පුළුවන්. ණය ගන්නත් ශක්තිය තියෙනවා. ගෙවන්න පුළුවන්කම තියෙනවා. අපි රටේ සංවර්ධනයක් කරල තියෙනවා. අපි ගත්ත ණය වලින් නම් සංවර්ධනය කලා. රට වටේ ඇවිද්දම පේනවා ඒක.
වරායට ගුවන්තොටුපොළට ගියත් ලංකාවේ කොහේ ගියත් බලාගන්න පුළුවන්. උතුරු ප්‍රදේශයේ සංවර්ධනය ඇති වුනේ අපේ කාලයේදී. රනිල් වික්‍රමසිංහ මහත්තයගේ ආණ්ඩුවෙන් බෝක්කුවක්වත් හදල නැහැ. එහෙමවත් බැරි වුනා.
තව ටික දවසකින් පැයයි විනාඩි විස්සකින් කොළඹ නගරයට යන්න පුළුවන්කම තියෙනවා මෙහේ ඉදන්. අපිට ඉස්සර යන්න පැට හතක් අටක් ගියා. ඒ තත්වය වෙනස් කරලා මේ දරුවන්ට හොඳ රටක් බිහි කරන්න අපි සූදානම් වෙලා ඉන්නවා යැයිද අගමැතිවරයා පැවසීය.“