ආණ්ඩුවේ ශක්තිය ගැන ජනපතිගෙන් සහතිකයක්!

Spread the love

මාධ්‍ය තුළින් විවිධ දේශපාලන විකාර පෙන්නුවද මේ ආණ්ඩුව එහෙම වට්ටන්න පුළුවන් එකක් නොවන බව පැහැදිලිවම කිව යුතුයැ’යි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

මේ ආණ්ඩුව හෙට වැටෙන එකකුත් නොවෙයි. හෙට වැටෙයි කියලා බලාගෙන හිටියත් ඒක වෙන දේකුත් නොවෙයි. අපේ නිල කාලය අපි යනවා වගේම අපි ඊළඟ මැතිවරණ සඳහාත් රජයක් විදියට ජනතාවගේ අපේක්ෂාවන් ඉෂ්ට කරගෙන ආර්ථික සංවර්ධනය ඇති කරගෙන මූලික ප්‍රශ්න විසඳමින් අපේ වගකීම්, යුතුකම් නිසි ලෙස ඉටු කරනවායි ජනාධිපතිවරයා අවධාරණය කරයි.

ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේ වැල්ලවාය මහජන ක්‍රීඩාංගණයේ පැවැති උෟව වෙල්ලස්ස ජනතාවට ඉඩම් බලපත්‍ර හා දීමනා පත්‍ර දසදහසක් ලබාදුන් දෙරණාභිෂේක මහෝත්සවය අමතමිනි.

යටත් විජිතවාදීන් එදා මේ රට පාලනය කළ කාලය තුළ මුඩුබිම් පනත සම්මත කර මේ රටේ ජනතාවගේ ඉඩම් මහා වතු සමාගම්වලට දුන්නේ ඒ තුළින් බවත් ඒ ප්‍රතිපත්තියෙන් බැහැර විය යුතු බවත් රටේ පොදු ජනතාවට වගාවට, සංවර්ධනයට ගෙයක් හදාගන්න ඉඩමක් දීම, භූමියේ අයිතිය ලබාදීම රජයේ ප්‍රධාන වගකීමක් වන බවත් ජනාධිපතිවරයා පැවැසීය.

දෙරණාභිෂේක උත්සවය අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.

බොහෝ විවේචන රජයට තිබෙනවා. නිදහස් මාධ්‍ය තුළ තමුන්නාන්සේ හවස නිවෙසේ සිට රූපවාහිනිය නරඹමින් සිටින විට අපේ හිතවත් පිරිස්ම තමයි මට කියන්නේ ප්‍රවෘත්ති බලන විට මේ ආණ්ඩුව හෙට වැටෙයි කියලා හිතෙනවා කියලා. ඒ වගේම සමහර අය ආණ්ඩුව පිළිබඳ නොයෙක් ආකාරයේ විග්‍රහ කරනවා. නමුත් මම පැහැදිලිව කියන්නට ඕනෑ මාධ්‍ය තුළ පෙන්නුම් කරන දේශපාලන විකාරත් එක්ක මේ ආණ්ඩුව එහෙම වට්ටන්න පුළුවන් එකක් නොවෙයි. හෙට වැටෙන එකකුත් නෙවෙයි. හෙට වැටෙයි කියලා බලාගෙන හිටියත් ඒක වෙන දේකුත් නෙවෙයි. අපේ නිල කාලය අපි යනවා වගේම අපි ඊළඟ මැතිවරණ සඳහාත් රජයක් විදියට ජනාතවගේ අපේක්ෂාවන් ඉෂ්ට කරගෙන ආර්ථික සංවර්ධනය ඇති කරගෙන මූලික ප්‍රශ්න විසඳමින් අපේ වගකීම් සහ යුතුකම් නිසි ලෙස ඉටු කරනවා.

මාසයක් ඇතුළත මොනරාගල දිස්ත්‍රික්කයට දෙවරක් පැමිණීමේ හැකියාව මට ලැබුණා. මීට මාසයකට පෙර විජිත් විජිතමුනි සොයිසා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපි ආරම්භ කළා කුඹුක්කන්ඔය ව්‍යාපෘතියේ කටයුතු. ඉන්පසු මාසයක් තුළ මොනරාගල දිස්ත්‍රික්කයේ දශක කීපයක් සිය ඉඩම්වල අයිතිය, උරුමය පිළිබඳව රාජ්‍ය ලියවිල්ල නොමැති දස දහසකට වැඩි ආදරණීය ගොවි ජනතාවට තමන්ගේ ඉඩමේ හිමිකම ලබාදීමේ උත්සවයට සහභාගි වීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා.

බිමෙහි අයිතිය සැම විටම ගොවියාට විය යුතුයි කියා මා විශ්වාස කරන්නේ. රටක භූමියේ උරුමය, අයිතිය ගොවියා සතු විය යුතුයි. තමුන්නාන්සේලා ජීවිත කාලය තුළ සැප විඳින මිනිසුන් නොවේ. මේ රටේ ගොවි ජනතාව කියන්නේ දුක්, කඳුළු හෙළන පීඩාවට පත්වෙන, දුෂ්කරතා මැද තමාගේ වගාවට වේලාවට වතුර ටික නැතිව යන, ඇතැම් වෙලාවට වී ටික විකුණා ගන්න අවස්ථාව නොලැබෙන, තවත් වෙලාවට පොහොර ටික, අපි අනුමත නොකළත් සාම්ප්‍රදායිකව භාවිත කරන රසායනික ද්‍රව්‍ය මේවා පිළිබඳව සංවර්ධන සංග්‍රාමයේදී ඔබ ජීවිතය තුළ බොහෝ දුෂ්කරතාවලට මුහුණදුන් පිරිසක්. එයයි මේ රටේ සමස්ත ගොවි ජනතාවගේ තත්ත්වය. එහෙත් අපේ රට කෘෂිකාර්මික රටක්. මේ රට ගොවියන්ගේ රටක්. මේ රටේ සංවර්ධනය පිළිබඳව එදා තිබුණු ආර්ථික සමෘද්ධිය, ශ්‍රී විභූතිය හෙට දවසේත් මේ රටේ ආර්ථික සමෘද්ධිය සහ ශ්‍රී විභූතිය ඇති කළ හැක්කේ කෘෂි ආර්ථිකය, ගොවි ආර්ථිකය ශක්තිත් කරමින් රාජ්‍ය පාලනයේ යහපත් පැවැත්මක් තුළ කියායි මම විශ්වාස කරන්නේ. මොනරාගල දිස්ත්‍රික්කයේ ඔබ ජල ප්‍රශ්නය සඳහා මුහුණදෙනවා. ඒ නිසයි පසුගිය දිනවල කුඹුක්කන්ඔය ව්‍යාපෘතියේ කටයුතු අපි ආරම්භ කළේ.

මොනරාගල දිස්ත්‍රික්කයේ ජීවත් වන ජනතාවගෙන් 25%ක් පමණ දුගීභාවයෙන් ආර්ථික අසීරුතා මැද ජීවත් වන පිරිසක්. ලංකාවේ මන්දපෝෂණ තත්ත්වයෙන් මොනරාගල දිස්ත්‍රික්කයේ 16%කට වැඩි නියෝජනයක් තිබෙනවා. මේ තත්ත්වයන් සැලකිල්ලට ගත් විට මොනරාගල දිස්ත්‍රික්කයේ ආර්ථිකය ගොඩනඟන්නට ආදරණීය දුප්පත් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නඟාසිටුවන්න රජයක් විදියට බොහෝ කළ යුතු කාර්යයන් අතපසු වී ඇති බවක් මම දකිනවා. 2017 වර්ෂය අපි නම් කළේ දුගී බවෙන් නිදහස් වීමේ වර්ෂය ලෙසයි. එය අපි රටක් විදියට මුහුණදෙන දුප්පත්කම පිළිඳ ප්‍රශ්නයයි. සංවර්ධනය පිළිබඳව කතා කළත් මහා යෝධ ව්‍යාපෘති ගැන කතා කළත් ඒ කතා කරන සුන්දර සංවර්ධනය පිටුපස තිබෙන ජනතාවගේ දුප්පත්කම බරපතළ ප්‍රශ්නයක්. අපේ රජය ප්‍රමුඛත්වය දී තිබෙන්නේ මූලික වශයෙන් රටේ ජනතාවගේ ආර්ථිකය ගොඩනඟන්න. දුප්පත්කම අවම කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරන්න.

RSL

Related Posts