සැප විදින ධනේශ්වර පංතිය මෙන්ම සියලුදෙනා සුව විඳින්නේ විදේශීය ගෘහ සේවයේ දුක්විද කාන්තාවන් උපයාදෙන විදේශ විනිමය නිසයි

Spread the love

සැප සම්පත් විදින ධනේශ්වර පංතිය මෙන්ම සුඛෝපභෝගී වාහන භාවිත කරන දේශපාලනඥයන් සහ රජයේ ඉහළ නිලධාරින් එම සුව පහසුව අත්විඳින්නේ විදේශීය ගෘහ සේවයේ නිරත කාන්තාවන් රටට උපයා දෙන මුදලින් බව ජනාධිපතිවරයා පවසයි.

රටට විදේශ විනිමය උපයා දෙන ප්‍රධාන මාර්ගය විදේශීය ගෘහ සේවය වුවත්, එහි නිරතවන මවුවරුන්, සොහොයුරියන් සහ දියණියන් බොහෝ දෙනාගේ ජීවිත කථා ශෝකාන්තයන් බව සඳහන් කළ ජනාධිපතිවරයා විදේශීය ගෘහ සේවයට ශ්‍රී ලාංකික කාන්තාවන් යැවීම පිළිබඳව තමා පෞද්ගලික ව විරුද්ධ බව ද කියා සිටියේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ අදට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ පැවති ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවය අමතමිනි.

“සුහුරු කතක් – සොඳුරු ලොවක්” තේමාව යටතේ පැවති මෙම සැමරුම් උත්සවයට කාන්තාවන් 8000කට වැඩි පිරිසක් එක්ව සිටියහ.

1908 වසරේ ඇමරිකාවේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් පිරිසක් සිය වෘත්තීය අයිතිවාසිකම් ඉල්ලා ආරම්භ කළ අරගලයෙන් ඇරඹි කාන්තා අයිතිවාසිකම් ව්‍යාපාරයේ බලපෑමෙන් 1911 වසරේ මාර්තු 08 වැනිදා ජාත්‍යන්තර කාන්තා දිනය ලෙස නම් කෙරිණි.

කාන්තා අයිතීන් සුරැකීම සහ කාන්තා අභිවෘද්ධිය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ද එය සෑම වසරකම උත්කර්ෂවත්ව සැමරෙන අතර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් මෙවර ද ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් වැඩසටහන් රැසක් සංවිධාන කර තිබේ.

2019 ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සම්පාදනය කළ ප්‍රකාශනය ද මෙහි දී ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

ජාතික වශයෙන් විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ කාන්තාවන් ජනාධිපතිතුමා අතින් ඇගැයීමට ලක් වූ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ තෝරාගත් ව්‍යවසායක කාන්තාවන් කිහිප දෙනෙකුට ඇගැයීම් සම්මාන හා සහතික පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු විය.

RSL

Related Posts