ජනපතිට බංග්ලාදේශයේදී ඉහළ පිළිගැනීමක්

Spread the love

බංග්ලාදේශ අගමැතිණි ෂීක් හසීනා මහත්මියගේ ආරාධනාවක් අනුව තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා බංග්ලාදේශය බලා පිටත්ව ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (13) පෙරවරුවේ බංග්ලාදේශයේ ඩකා ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා විය.

ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු මෛතී‍්‍රපාල සිරිසේන මහතා බංග්ලාදේශයේ සිදුකරන පළමු සංචාරය මෙය වන අතර ජනාධිපතිතුමා වෙත ඉහළ පිළිගැනීමක් ලබාදීම වෙනුවෙන් එරට රජය සියලු කටයුතු සූදානම් කර තිබුණි.

ඩකා ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් අබ්දුල් හමීඩ් මහතා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර ආචාර වෙඩි මුර 21 ක් සහිත හමුදා උත්තමාචාර පිරිනමමින් ඉතා අභිමානවත් අයුරින් එම පිළිගැනීම සිදු විය.

එමෙන්ම ශී‍්‍ර ලංකා – බංග්ලාදේශ ජාතික ධජවලින් ඩකා ජාත්‍යන්තර ගුවන් තොටුපළ සරසා තිබුණේ ද දෙරටේ හෘදයාංගම මිතුදම මැනවින් විදහා දක්වමිනි.

බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා, සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙළේ මැති ඇමතිවරු පිරිසක් ද ජනාධිපතිතුමා පිළිගැනීම වෙනුවෙන් ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

1972 වසරේ ඇරඹි ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් තහවුරු කර ගනිමින් දෙරට අතර ආර්ථික, වෙළෙඳ සබඳතා නැවුම් ප‍්‍රවේශයක් ඔස්සේ ඉදිරියට ගෙනයාම ජනාධිපතිතුමාගේ මෙම සංචාරයේ අරමුණ වන අතර, බංග්ලාදේශ අගමැතිණිය ඇතුළු ඉහළ පෙළේ අමාත්‍යවරු කිහිප පළක් සමග ද ජනාධිපතිතුමා ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

එමෙන්ම දෙරට අතර කෘෂිකර්ම, අධ්‍යාපන, විදේශ කටයුතු පුහුණුවීම්, ආගමන සහ විගමන ආදී ක්ෂේත‍්‍ර ආවරණ වන පරිදි අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද මෙහිදී අත්සන් තැබීමට නියමිතය.

ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර ආයෝජන සහ ව්‍යාපාරික අවස්ථා පිළිබඳ සොයා බැලීමේ ව්‍යාපාරික හමුවකට ද ජනාධිපතිතුමා සිය සංචාරය තුළදී එක්වනු ඇත.

අමාත්‍ය රවී කරුණානායක, රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු , වසන්ත අලුවිහාරේ, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, නිශාන්ත මුතුහෙට්ටිගම යන මහත්වරුන්ද ජනාධිපතිතුමා සමග මෙම සංචාරයට එක්ව සිටී.

RSL

Related Posts