බෞද්ධයකු ලෙස ලොව සෑම ජීවියෙකුගේම පැවැත්ම වෙනුවෙන් බැඳී සිටිනවා- ජනපති එක්සත් ජාතීන් ඉදිරියේ කියයි

Spread the love

බෞද්ධයකු වන තමන් මානව වර්ගයාගේ පෝෂණය සුරක්ෂිත කිරීමට පමණක් නොව සමස්තයක් වශයෙන් ලොව සෑම ජීවියෙකුගේම පැවැත්ම තහවුරු කිරීම සඳහා තමන් බැඳී සිටින බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.

කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හතරවන සැසි වාරය අමතා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මෙම අදහස් ප්‍රකාශ කරනු ලැබීය.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ සුරක්ෂිත පරිසරයක ජීවත්වීමට ඇති අයිතිය සහතික කිරීම සහ තිරසර ගෝලීය ආර්ථීක දර්ශක මත පදනම් වූ පරිසර හිතකාමී ආර්ථීක ප්‍රවණතා හඳුන්වා දීම අද දවසේ සියලු දෙනාගේ ප්‍රධාන වගකීමක් වී ඇති බවය.

කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මහතාගේ ආරාධනයකට අනුව විශේෂ ආරාධිතයෙකු ලෙස ජනාධිපතිවරයා මෙම සමුළුවට එක්විය.

කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා, ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්රොන්, ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මැඩගස්කරයේ ජනාධිපති ඇන්ඩ්‍රි රජොයිලිනා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් නයිරෝබි නුවර එක්සත් ජාතින්ගේ පරිසර සංවිධාන මූලස්ථානයේ දී පැවැත්වුණු සමුළුවට රටවල් 5ක පරිසර අමාත්‍යවරුන් සහ නියෝජිතයන් පන්දහසකට අධික පිරිසක් එක්ව සිටි ඇත.

පරිසර අභියෝග සහ තිරසර පරිභෝජනය හා නිෂ්පාදනය සඳහා නවෝත්පාදක විසදුම්, යන්න මෙවර සමුළුවේ ප්‍රධාන තේමාවයි.

සොබාදහමින් මෙන්ම සංස්කෘතික උරුමයන්ගෙන්ද පොහොසත් රටක් වන ශ්‍රී ලංකාව රටේ සමාජ ආර්ථීක සංවර්ධනය නංවාලීම සඳහා සොබාදහම සහ සොබාදහමට නෑකම් කියන තිරසර ව්‍යාපාර සඳහා ප්‍රාග්ධනය යෙදවීමට කැමැත්තෙන් සිටින බව ද මෙහිදී ප්‍රකාශ කළ ජනාධිපතිවරයා මෙවැනි තත්ත්වයක් තුළ එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හතරවන සැසිය ඒ සඳහා ශක්තිමත් පදනමක් සහ මෙවලමක් ලබාදෙන බව ද කියා සිටියේ ය.

දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීම සඳහා පෙර නොවූ විරූ ආකාරයේ ගෝලීය කැපවීමක් පෙන්නුම් කරන පැරිස් ගිවිසුමට ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති අතර, 2019 ගෝලීය දේශගුණික අවදානම් දර්ශකයෙහි අප රට දෙවන ස්ථානයට වැඩිම අවදානමක් පවතින රට වශයෙන් නම් කිරීම හේතුවෙන් දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකාව දැඩිව කැපව සිටින බව ද ජනාධිපවරයා අවධාරණය කළේය.

ගෝලීය පරිසර ගැටලු සඳහා දරිද්‍රතාවය සුවිශේෂි හේතුවක් බවත් පාරිසරික පරිහානිය සහ දරිද්‍රතාවය අතර එකිනෙකට සමීප සම්බන්ධතාවයක් පවතින අතර එය විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර වෙන් කළ නොහැකි සම්බන්ධතාවයක් බව ද ජනාධිපවරයා වැඩිදුරටත් සමුළුව අමතමින් කියා සිටියේය.

RSL

Related Posts