30 අවුරුදු යුද්ධයකට එහා ගිය තවත් යුද්ධයකට ජනපති සැරසෙයි

Spread the love

වසර 30ක ම්ලේච්ඡ ත්‍රස්තවාදය පරාජය කිරීමට ගෙන ගිය යුද්ධය හා සමාන යුද්ධයක් ම්ලේච්ඡ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ජාතිය ගලවා ගැනීම සඳහා සිදු කළ යුතුව ඇති බව ජනාධිපතිවරයා පවසයි.

එදා දැක්වූ කුසලතාවයන්, දක්ෂතාවයන්, එඩිතරබව සහ වීරත්වය මෙම ශ්‍රේෂ්ඨ මානව කාර්ය වෙනුවෙන් ද ඉටුකිරීමට පෙරට එන ලෙස ත්‍රිවිධ හමුදා, පොලිස්, සිවිල් ආරක්ෂක බලකා සියලූ සාමාජිකයන්ට ආරාධනා කළ ජනාධිපතිවරයා ඊට නායකත්වය ලබාදීමට තමා සූදානම් බව ද කියා සිටියේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ බව ප්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළේ දී විශේෂ දක්ෂතා දැක්වූ පොලිස් නිලධාරින් ඇගැයීම වෙනුවෙන් අද (28) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති ,ජනපති ප්‍රශංසා, ඇගැයීම් උලෙළ අමතමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ විවිධ නීති විරෝධි කටයුතුවල නිරතව සිටින පිරිස් විසින්, පොලිස් ස්ථානාධිපතිවරුන්ව මාරු කර යැවූ යුගය තමා අවසන් කරන බවයි.

පොලිස් නිලධාරින්ට ස්ථාන මාරුවීම් ලබාදීමේ දී වාර්ෂික ස්ථානමාරුවීම්, ප්‍රතිපත්තිමය ස්ථාන මාරුවීම් ක්‍රමවේදයන්ට අනුව මෙන්ම ඉන් බාහිරව සිදු කෙරෙන්නා වූ ස්ථානමාරුවීම්වල දී ද එම ස්ථාන මාරුවට හේතුව ස්ථාන මාරුවීම් ලිපියේ ම ස`දහන් කළයුතුය යන නියෝගය තමා විසින් ලබා දෙන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

එසේ සිදු කරනුයේ සියලූ පොලිස් නිලධාරින්ට මාතෘභූමිය වෙනුවෙන් අවංක සේවයක් ඉටුකිරීමට බව පැවසූ ජනාධිපතිවරයා තමා මෙන්ම පොලිසිය භාර අමාත්‍යවරයා ලෙස ද තමා සෑම අවස්ථාවකම අවංකව රාජකාරී ඉටු කරන නිලධාරින් ආරක්ෂා කරන බව කියා සිටියේ ය.

දූෂිතයන්ගේ සහ ජාවාරම්කරුවන්ගේ අනුදැනුම මත කිසියම් පොලිස් නිලධාරියෙකු ස්ථාන මාරුවීමකට ලක්වුවහොත් හා යම් පෞද්ගලික අභියෝගයකට හෝ කරදරයකට ලක් වුවහොත් ඒ පිළිබඳ තමා වෙත පෞද්ගලිකව දැනුම්දීමට අවශ්‍ය ක්‍රමවේදය සකස් කරමින් විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

එසේම මත්ද්‍රව්‍ය භාවිත කරන පිරිස් පුනරුත්ථාපනය කිරීමේ අධිකාරියක් පිහිටුවීම පිළිබඳව නව අමාත්‍ය මණ්ඩල සංදේශයක් හෙට දින අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව පැවසූ ජනාධිපතිවරයා විවිධ ක්ෂේත්‍රවල විශේෂඥයන්ගෙන් සමන්විතව ඉදිරි සති කිහිපය තුළ එම අධිකාරිය ස්ථාපිත කිරීමට කටයුතු කරන බව සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ මත්ද්‍රව්‍ය මර්දනය ජාතික අවශ්‍යතාවයක් සේ සලකමින් ඒ සඳහා ලබාදිය යුතු ඉහළම ප්‍රමුඛත්වය ලබාදෙන බවත්, ඒ පිළිබඳ නීතිය ක්‍රියාත්මක කිරීමේ දී නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදිය යුතු ම බවයි.

රජයක් ලෙස ඒ පිළිබඳව කටයුතු කිරීමේ දී මානව හිමිකම් පෙන්වමින් එම අපරාධකරුවන් ආරක්ෂා කිරීමට ඇතැමුන් කටයුතු කරන බව පැවසු ජනාධිපතිවරයා, එය ඔවුන් සමස්ත ජාතියේම අනාගතය වෙනුවෙන් කරන ද්‍රෝහිකමක් බව ද කියා සිටියේ ය.

මේ අතර, තමා පසුගියදා සිදු කළ පිලිපීන මෙන්ම සිංගප්පුරු සංචාරවල දී ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළ වෙනුවෙන් තාක්ෂණික සහය පළ කිරීමට එම රටවල් එකඟ වු බව මෙහි දී සිහිපත් කළ ජනාධිපතිවරයා ලෝකයේ බොහෝ රටවල් භාවිත කරන එම තාක්ෂණික දැනුම දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවට ලබා ගැනීමට එම විෂයභාරව කටයුතු කළ දේශපාලනඥයන් කටයුතු කර නොමැති අතර, අද රටට ව්‍යසනයක්ව ඇති මත්ද්‍රව්‍ය අභියෝගය ව්‍යාප්තවීම පිළිබඳව එම සියලූදෙනා වගකිව යුතුව ඇති බව ද කියා සිටියේ ය.

එමෙන්ම ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ විෂ මත්ද්‍රව්‍ය හඳුනාගැනීම පිළිබඳ එම නවීන තාක්ෂණික උපකරණ කඩිනමින් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව වෙත ලබාගැනීම පිළිබඳ සොයා බැලීමට තමා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත උපදෙස් දී ඇති බවයි

මතින් නිදහස් රටක් ගොඩනැගීමේ පුළුල් අරමුණ ඉටු කර ගැනිමට අමාත්‍යාංශ ලේකම්වරයාගේ සිට කම්කරුවා දක්වා සියලූ රාජ්‍ය සේවකයන් සහ පූජ්‍ය පක්ෂය ඇතුළු සියලූ පුරවැසියන් කැපවීමේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපතිවරයා නව මුහුණුවරකින් ඉදිරියට ක්‍රියාත්මක කෙරෙන මෙම ජාතික වැඩසටහන සමඟ අත්වැල් බැඳගන්නා ලෙස ද සියලූ දෙනාට ආරාධනා කළේය.

රටේ සියලූ පුරවැසියන්ගේ නිදහස් සාමකාමී දිවි පැවැත්ම තහවුරු කරනු වස් ශ්‍රී ලංකා පොලිස් සේවයේ පරමාර්ථ යථාර්ථයක් කරමින් තික්ෂණ බුද්ධියෙන් තම කුසලතාවයෙන් සහ වෘත්තීමය පරිණතභාවයෙන් මත්ද්‍රව්‍ය, මද්‍යසාර සහ සංවිධානාත්මක අපරාධ මැඬලමින්, වළක්වාලමින්, ග්‍රහණයට ගනිමින් සහ ප්‍රජාව දැනුවත් කරමින් සිදු කරන ලද මෙහෙවරට සහ ජනාධිපතිවරයා විසින් වර්ෂ 2015 දී ආරම්භ කරන ලද මතින් නිදහස් රටක් සංකල්පය යථාර්ථයක් කර ගැනීමට දිවි හිමියෙන් කැපවෙමින් සිදු කළ උදාරතර අභිමානවත් සේවය ඇගැයීමට ලක් කරමින් සහ මුළුමහත් ජාතියේ ගෞරවය සහ ප්‍රණාමය පුද කරමින් පොලිස් නිලධාරින් 1007 දෙනෙකු වෙත විශේෂ ජනාධිපති ප්‍රශංසා සහතික පත් පිළිගැනීම මෙහිදී සිදු කෙරිණි.

එම අවස්ථාව සංකේතවත් කරමින් සහතික පත් ප්‍රදානය කිරීම ජනාධිපතිවරයා අතින් සිදු විය.

මෙවැනි සම්මාන උලෙළක් සංවිධානය කරන ලද්දේ පළමු වරට වීම විශේෂත්වයකි.

ආණ්ඩුකාරවරුන්, මැති ඇමතිවරුන්, තානාපතිවරුන් ඇතුළු සම්භාවනීය ආරාධිතයන් සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානිහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

RSL

Related Posts