ජනපති නිදහස ගැන කියන නිදහස් පණිවුඩය

Spread the love

ස්වදේශීය අනන්‍යතාවෙන් ඔප් නැංවුණු ජාතියක් ලෙස අපට ඕනෑම අභියෝගයක් ඉදිරියේ නැඟී සිටිය හැකි බවත්, ඒ බව අපගේ සමස්ත ඉතිහාසය තුළ මැනවින් ප්‍රදර්ශනය කැර තිබෙන බවත්, ශ්‍රී ලංකාව යනු යුහුසුලුව නැඟී සිටිය හැකි රටක් බව මේ මොහොතේ අප නැවතත් සනාථ කළ යුතුව ඇති බවත් ජාතික නිදහස් සමරු උලෙළ වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පවසයි.

ඒ පණිවිඩයෙහි මෙසේද සඳහන් වෙයි:

ජාතික නිදහසෙහි ඇති අගය වටහාගැනීමට නම් පරාධීනත්වය ඇති කරන අවමානයද පීඩනයද වටහාගත යුතුය. රටේ නිදහස උදෙසා ප්‍රාණ පූජාවෙන් යුතුව කැප වූ අපේ අභීත විරුවන්ට අප සදා ණයගැති වන්නේ එබැවිනි. නිදහසෙහි අගය ගැන සිහි කරන අද වන් දිනක ශ්‍රී ලංකාව විජයභූමියක් කිරීමට කැප වූ සැබෑ පරිත්‍යාගශීලීන් වූ ඔවුන් සියලු දෙනා වෙත සමස්ත ජාතියේ උත්තමාචාරය පුද කරන්නේ හද පිරි බැතියෙනි.

ශ්‍රී ලංකාව ස්වාධීන ජාතියක් ලෙස නිදහසේ දශක හතක් සපුරන මේ මොහොත, අප විසින් පසුගිය කාලයේදී අත්පත් කරගත් සාධනීය වර්ධනයන් සහ ජයග්‍රහණ පිළිබඳ ගැඹුරින් ආවර්ජනය කිරීමට සුදුසුම අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. එකී කාලපරාසය තුළ අප නියත වශයෙන්ම සපුරාගත යුතුව තිබූ මානව සංවර්ධන ඉලක්ක සහ මුහුණ දිය යුතුව තිබූ සමාජ, ආර්ථික, දේශපාලන සහ ජන ජීවිතයේ ආරක්ෂාව සම්බන්ධ අභියෝග පිළිබඳ සලකා බැලීමේදී අපි ගිරිදුර්ග රැසක්ම සාර්ථක ලෙස තරණය කර ඇත්තෙමු. ස්වදේශීය අනන්‍යතාවෙන් ඔප්නැංවුණ ජාතියක් ලෙස අපට ඕනෑම අභියෝගයක් ඉදිරියේ නැඟී සිටිය හැකිය. ඒ බව අප අපගේ සමස්ත ඉතිහාසය තුළ මැනවින් ප්‍රදර්ශනය කර තිබේ.

ශ්‍රී ලංකාව යනු යුහුසුලුව නැඟී සිටිය හැකි රටක් බව මේ මොහොතේ අප නැවතත් සනාථ කළ යුතුව තිබේ. ඒ සඳහා අප විසින් දියත් කළ යුතු සංග්‍රාම ගණනාවක් ඇති බවද මෙහිදී සිහිපත් කළ යුතුය. සැමට සම අවස්ථා හිමි වන හරිත සංවර්ධනයක් කරා යොමු වීමද, ඒ තුළ ජාතික සංහිඳියාවක් සාක්ෂාත් කරගැනීමද අපගේ මානව සම්පත ගෝලීය වශයෙන් ඉහළ ගුණාත්මක සහ තරගකාරි මට්ටමකට ගෙන ඒමද අපගේ ප්‍රමුඛ අවධානය යොමු විය යුතු ඉලක්ක වන්නේය.

ඒ සමඟම, අප මැනවින් අවබෝධ කරගත යුතු සත්‍යයක් වන්නේ සැබෑ නිදහස යනු දේශපාලන නිදහස පමණක්ම නොවන බවයි. නිදහස පරිපූර්ණ වීමට නම් යම් ජාතියක ආර්ථික නිදහස හා සංස්කෘතික නිදහසද තහවුරු විය යුතු බව පිළිගත යුතු යථාර්ථයකි. ආර්ථික නිදහස කරා අප යන ගමන පිළිබඳ සැලකීමේදී මේ වර්ෂය අපට ඉතා වැදගත් වනු ඇත.

රටක් ලෙස අප අතීතයේ මෙන්ම අනාගතයේද ස්ථිර අධිෂ්ඨානයෙන් යුතුව අපගේ දිගුකාලීන ඉලක්ක සමඟ බැඳී සිටීම අපගේ සාර්ථකත්වයයි. මොරගහකන්ද ජලාශය නිම කිරීමත් සමඟ මහවැලි ව්‍යාපාරය සාර්ථකව නිම කිරීමට හැකි වීම ඊට සාක්ෂි දරයි. එමෙන්ම මේ වර්ෂය “ජාතික ආහාර නිෂ්පාදන වර්ෂය” ලෙස නම් කරනු ලැ‍බුවේ අප ජාතිය දශක හතක් තිස්සේ දුටු සිහිනයක් වන ආහාර සුරක්ෂිතතාව සාක්ෂාත් කරගැනීමටය. නිදහස ලබා දශක හතක් සපිරෙන මේ අභිමානවත් අවස්ථාවේ රට වෙනුවෙන් ඉ‍ටු කළ යුතුව ඇති සියලු වගකීම් නොපිරිහෙළා ඉ‍ටු කරන බව ශපථ කරන අතරම ජාතියක් ලෙස අපේ සැබෑ ශක්තිය නම් අපගේ සමඟිය සහ අධිෂ්ඨානය බව අවධාරණය කරනු කැමැත්තෙමි.

RSL

Related Posts