2015 ජනපතිවරණයට ලැබුණු පෞද්ගලික ආධාරවලින් ජනපති ගොඩනැඟූ වකුගඩු රෝහල ජනතා අයිතියට
- RSL
- March 21, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
- Methsiri Sewana, Methsiri Sewana Kidney Hospital, President Maithripala Sirisena
- 0 Comments
2015 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ තමා එදා පොරොන්දු වූ පරිදි තමාට ලැබුණු පෞද්ගලික මුල්‍ය ආධාරවලින් ගොඩනැගූ අංග සම්පූර්ණ වකුගඩු රෝහල අද වැනි දිනෙක ජනතා අයිතියට පත්කරමින් රෝගී ජනතාවට සෙතක් සැදීමට හැකිවීම සම්බන්ධයෙන් තමා නිහතමානීව සතුටුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා “මෙත්සිරි සෙවණ ” වකුගඩු රෝගී සහන සත්කාර, සුබසාධන හා පර්යේෂණ රෝහල් මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් පැවසිය.
වකුගඩු රෝග නිවාරණය වෙනුවෙන් ඉකුත් සිව් වසර තුළ ප්‍රමුඛත්වය ලබා දෙමින් ඉටු කළ පුළුල් සේවාව හේතුවෙන් දිවයිනපුරා වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව මේ වන විට සැළකිය යුතු මට්ටමින් පහල බැස ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
රුපියල් මිලියන 437ක මූල්‍ය ප්‍රතිපාදන යොදවමින් ඉදිකර ඇති මෙම මධ්‍යස්ථානයෙන් අනුරාධපුර හා පොළොන්නරුව ප්‍රදේශවල සියලුම වකුගඩු රෝගීන්ට එකවර ප්‍රතිකාර ලබාගැනීමේ පහසුකම් සලසා තිබේ.
මේ අතර අඩු ආදායම්ලාභී පවුල් 2000ක් සදහා ගෘහස්ත ජල පෙරණ උපකරණ ලබාදීම, උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත රුධිර පීඩන මාපක උපකරණ භාරදීම සහ වකුගඩු රෝග නිවාරණය සම්බන්ධව දීපව්‍යාප්තව පැවති තරගාවලියකින් ජයගත් සිසුන්ට ත්‍යාග හා සහතිකපත් ප්රදානය කිරීමද මෙහිදී සිදු කෙරුණි.
එසේම මෙත්සිරි සෙවණ වකුගඩු රෝගී සහන සත්කාර මධ්‍යස්ථානය ඉදිකිරීම වෙනුවෙන් කළ කැපකිරීම අගයමින් නිලධාරීන්ට ජනාධිපතිවරයා විසින් සමරු තිළිණ ප්රදානය කරනු ලැබුවේය.
ඒ අතර මිහින්තලේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට අයත් නිවාඩු නිකේතනයේ ස්ථාපනය කර ඇති 601 වැනි ප්‍රති ආශ්රැතකරණ ජල පද්ධතිය දුරස්ථ සංනිවේදන තාක්ෂණය ඔස්සේ විවෘත කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණි.
පසුව ඉසුරුමුණිය විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිවරයා ආගමික වතාවත්වල නිරත වී ආශිර්වාද ලබා ගත්තේය.
අනතුරුව ජනාධිපතිවරයා විහාර පරිශ්‍රයේ ඉදිකර ඇති ප්රතිආශ්රැතකරණ ජල පද්ධතිය විවෘත කිරීමේ අවස්ථාවටද එක්වුණි.
