දරුවන්ට මානසික පීඩනයක් වුණු පහේ ශිෂ්‍යත්වය අහෝසි කිරීමේ තීරණය ලගඳීම ගන්නවා

Spread the love

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීම පිළිබඳ තීරණයට තමා එකග වන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

පහ වසර ශිෂ්‍යත්වය යනු දරුවාගේ අනාගතය තීරණය කරන ප‍්‍රධාන කඩඉමක් නොවන අතර එහිදී දරුවන්ට සිදුවන මානසික බලපෑම පිළිබඳ සියලූ දෙනාගේ අවධානය යොමු විය යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළේය. 

 ජනාධිපතිවරයා මේ බැව් පැවසුවේ ඊයේ (20 වැනිදා) සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාගාරයේදී පැවැති දරුවන් සුරකිමු ජාතික වැඩසටහනේ කොළඹ දිස්ත‍්‍රික් සමුළුව අමතමිනි.

කොළඹ දිස්ත්‍රික්කයේ ආබාධ සහිත දරුවන් සිටින පාසල් සඳහා ප්‍රවේශ මාර්ග ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම වෙනුවෙන් මූල්‍යාධාර ප්‍රදානය, තිරසර පාසල් වැඩසටහන යටතේ ජල පහසුකම් හා ජලය බෙදා හැරීමේ නළ පද්ධති නොමැති පාසල් වෙත එම අවශ්‍යතා සපුරා ගැනීමට ප්‍රතිපාදන ලබාදීම, ළමා නිවාස හා රැඳවුම් නිවාසවල අලුත්වැඩියා සඳහා ප්‍රතිපාදන ලබාදීම මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

විශේෂඥ මනෝ චිකිත්සක වෛද්‍යවරුන් දෙදෙනකු වන චමින්ද වීරසිරිවර්ධන හා නවාස් ජිෆ්රි යන මහත්වරු මෙහිදී විශේෂ දේශනයන් පැවැත්වූහ.

මෙහිදී ජනාධිපතිවරයා මෙසේද කීය.

දරුවන් පිළිබඳව කතා කිරීම සෑම කෙනෙක්ම කරනවා. ඒත් ඒ කතා කරන දේ දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක නොවීමයි අපිට තියෙන ප්‍රධානම සමාජ අභියෝගය. දරුවන් රකිමු කියලා විශේෂ වැඩසටහනක් ආරම්භ කළේ ඇයි? දරුවන් රැකීම පිළිබඳ ප්‍රශ්නයක් තිබෙන නිසයි. දරුවන් රැකීම නිසි ලෙස සිදු වෙනවා නම් මෙවැනි ව්‍යාපෘතියක් අවශ්‍ය වන්නේ නැහැ.

පසුගිය වසර කිහිපය දෙස ආපහු හැරිල බැලුවොත් මාධ්‍ය වාර්තා, අධිකරණ, පොලිස්, සෞඛ්‍ය වාර්තා ගත්විට දරුවන් රැකීම සම්බන්ධයෙන් අභියෝග වාර්තා වෙනවා. දරුවා රැකීමේ ප්‍රධානම වගකීම මුලින්ම දරන්නේ මවුපියෝ. මගේ අම්මයි තාත්තයි දරුවෝ ‍ෙදාළොස් දෙනෙක් බලා ගත්තා. අපි රටක් විදියටත්, ලෝකය විදියටත් මුළුමහත් මානව ප්‍රජාවගේ ආරම්භයේ සිටම අද දක්වාම එක් එක් යුග තුළ විවිධ ක්ෂේත්‍ර පසුකරමින් සමාජය වේගයෙන් ඉදිරියට ආවත් ආධ්‍යාත්මික හා ගුණාත්මක වශයෙන් දරුවා රැක ගැනීමත්, නිවාස, පාසල මුල් කරගත් සමාජ හර පද්ධතීන් තුළ ඊට එල්ල වී තිබෙන අභියෝග අප තේරුම් ගත යුතුයි.

මුදලට තාක්ෂණයට යට වෙන්න වෙන්න මේ දරුවා සුරැකීම අභියෝගයට ඔබ පත් වෙනවා. මං දරු මුනුබුරන් සිටින තාත්තා කෙනෙක්, සීයා කෙනෙක් නිසා ඒ අද්දැකීම මට හොඳට තිබෙනවා. දරුවා රැකීමේ කාර්යයේදී මා හිතනවා අද තිබෙන බරපතළ අභියෝගයත් සමඟ පුළුල් සමාජ සංවාදයක්, කතිකාවක් අවශ්‍යයි කියලා.

විශේෂයෙන්ම බෞද්ධ ඉතිහාසය ගත් විට බුද්ධ, ධර්ම සංගායනා තිබෙනවා. ඒ වගේම වැදගත් වූ ක්ෂේත්‍රයක අභියෝගයක්, පිරිහීමක් ඇති වුණොත් ඔය සාකච්ඡා කිරීම අත්‍යවශ්‍ය දෙයක්. ඒ නිසා දරුවන්ගේ ප්‍රශ්න ගැනත් සෑම තැනකම සංවාද, සාකච්ඡාව තිබිය යුතුයි.

එක් පැත්තකින් ළමා අපචාර, මත්ද්‍රව්‍ය, දරුවන්ට සිදුවන හිරිහැර, කායික මානසික වද හිංසා, සමහරවිට පාසල්වල තියෙන සංවේදී සංකීර්ණ ප්‍රශ්න, බස් රථය, කඩපිල යන සෑම තැනකම පිරිසුදු පින්වන්ත දරුවකු බිහි කරන්න අභියෝග තිබෙනවා.

දරුවන් ආරක්ෂා කිරීම සඳහා ජාතික අරමුදලක් පිහිටුවීමේ අවශ්‍ය කටයුතු මේ වන විට යොදවලා තියෙනවා. දරුවන්ගේ ප්‍රශ්න හා ගැටලු පිළිබඳව විසඳුම් හා වාර්තා, සමීක්ෂණ දත්ත තොරතුරු ලබාගෙන ඒ තුළින් රජය දැනට ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමටයි මා බලාපොරොත්තු වෙන්නේ.

අපේ රටේ සියදිවි නසා ගැනීම් සම්බන්ධයෙන් උඩින් ඉන්න රටක්. ඒක යහපත් තත්ත්වයක් නොවේ. පසුගිය වසර කිහිපය තුළ ලබා ගත්ත වාර්තා එක්ක බොහෝ විට අවුරුදු 20ට අඩු දරුවෝ ඒ ලැයිස්තුවල ප්‍රමුඛතාවයේ ඉන්නවා.

පසුගිය දවස්වල රජය තීන්දුවක් ගත්තා පහේ ශිෂ්‍යත්වය අහෝසි කිරීම පිළිබඳව. ඒක මං සියයට සියයක් එකඟ වෙන කාරණයක්.

ඔබ දන්නවා වාර්ෂික සංඛ්‍යා ලේඛන ගත්විට පහේ ශිෂ්‍යත්වය සමත් වෙන දරුවන්ගෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සුදුසුකම් ලබන්නේ 12%ක් 13%ක්. එහෙමනම් 85%කට වැඩිය දරුවෝ විශ්වවිද්‍යාල යන්නේ නැහැ. ශිෂ්‍යත්වය සමත් වන දරුවන්ගේ දක්ෂතා අවතක්සේරු කරනවා නොවේ. නමුත් ශිෂ්‍යත්වයේදී තිබෙන තරගය හා මානසිකත්වය තුළ අසමත් වෙන දරුවන්ට එය පැහැදිලි කරන්න ඕනේ. කොළඹ පාසල්වල නැතත් පිටිසර ප්‍රදේශවල මේ තත්ත්වය ඉතාම බරපතළයි.

ඔබේ වයසයි අපේ වයසයි බලද්දී ඔබ ඉතාම භාග්‍යවන්තයි. නව තාක්ෂණය, පරිගණක අපේ ලෝකයේදී දැක්කේ නැහැ. අපි කුප්පි ලාම්පු එළියෙන් පාඩම් කෙරුවේ. හරියට ඇඳගන්න ඇඳුමක් තිබුණෙත් නෑ. ඔබේ මවුපියන්ට හොඳ ආර්ථිකයක් තිබෙන්න පුළුවන්. ඒ නැතත් කොහොමහරි ඔබව ගොඩනඟන්න, හැම දරුවකුම රජෙක් කරන්න මවුපියෝ ගුරුවරු ප්‍රාර්ථනා කරනවා.

රජෙක් කරනවා කියන්නේ ඔටුන්නක් පලඳවන එක නෙවෙයි. ඔටුන්නක් නැති රජෙක් විදියට සමාජයේ හොඳ පුරවැසියෙක් ලෙස ඉන්නයි වෙහෙසෙන්නේ. ඒ සඳහා රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ ගත හැකි සියලු ක්‍රියාමාර්ග ඉටු කරනවා.

RSL

Related Posts