NGOකාරයින්ට බයේ රට ජාතිය වෙනුවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම නවත්වන්නේ නැහැ

Spread the love

මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ඒ හා සම්බන්ධ සංවිධානාත්මක අපරාධ පිළිබඳ පැමිණිලි ලබාදීම සඳහා ගාස්තු රහිත 1984 කෙටි දුරකථන අංකය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඊයේ (21) හඳුන්වා දෙනු ලැබීය.

මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ඒ හා සම්බන්ධ සංවිධානාත්මක අපරාධ පිළිබඳ පැමිණිලි ලබාදීම සඳහා වූ එම අංකය ජනාධිපතිවරයා හඳුන්වා දුන්නේ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික සතිය ප්‍රකාශයට පත් කරමින් ඊයේ පෙරවරුවේ මුලතිව් මුල්ලියාවලෛ විද්‍යානන්දන් මහා විද්‍යාලයේ පැවැති වැඩසටහනට එක්වෙමිනි.

නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව පසුගිය සිවු වසර තුළ ගෙන ගිය වැඩපිළිවෙළ ඉදිරි සතියේ සිට නව මුහුණුවරකින් ක්‍රියාවට නංවන බව ජනාධිපතිවරයා පැවැසීය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට රජය ගත් තීරණය කුමන අන්දමකින්වත් වෙනස් නොකරන බව පැවැසූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ තම ඉල්ලීම පරිදි ශ්‍රී ලංකාවේ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීම සඳහා පිලිපීන රජයේ සහාය පළ වී තිබෙන බවත් ඒ සඳහා ලබාදිය හැකි තාක්ෂණික උපදේශන සේවාවන් පිළිබඳ සොයා බැලීමට පිලිපීන විශේෂඥ කණ්ඩායමක් ළඟදීම දිවයිනට පැමිණීම නියමිත බවත්ය.

පිලිපීනය මත්ද්‍රව්‍ය හේතුවෙන් විනාශ වී තිබූ රටක් වන අතර එහි ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ හේතුවෙන් අද පිලිපීනය එම අභියෝගය ජයගෙන තිබෙන බව සඳහන් කළ ජනාධිපතිතුමා මත්ද්‍රව්‍යවලට එරෙහිව පිලිපීන ජනාධිපතිවරයා ක්‍රියාත්මක කර ඇති තීරණ තමා විසින් ක්‍රියාත්මක නොකළද ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවලට බයේ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව ගන්නා දැඩි තීන්දු තීරණ වෙනස් නොකරන බවද කියා සිටියේය.

එමෙන්ම ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව ගන්නා දැඩි තීන්දු තීරණවලට එරෙහිව ඇතැම් මානව හිමිකම් සංවිධාන හඬ නැඟුවද මෙම ව්‍යසනය හේතුවෙන් රටට, ජාතියට සහ දරුවන්ගේ අනාගතයට සිදුවන විනාශය පිළිබඳ ඔවුන් අවධානය යොමු නොකරන බවත් රටට සිදුවන මෙම විනාශය පිළිබඳ එම සියලු දෙනා වගකිවයුතු බවත්ය.

RSL

Related Posts