රණවිරුවන්ට එරෙහි එක්සත් ජාතීන්ගේ යෝජනාව ජනපති තරයේ ප්‍රතික්ෂේප කරයි

Spread the love

රණවිරුවන්ට එරෙහිව විදෙස් විනිසුරුවරුන් ගෙන්වා නඩු ඇසිය යුතු බවට පසුගියදා එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා කරන ලද යෝජනාව තමා තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, විදේශීය සම්බන්ධතා මත කටයුතු කරන ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන කියන අන්දමට ආණ්‌ඩු කිරීමටවත්, ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට චෝදනා පත්‍ර ගෙන ඒමට හෝ නඩු ඇසීමට තමා සූදානම් නොමැති බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ පෙරේදා (04 දා) පෙරවරුවේ පලාලි ගුවන් හමුදා කඳවුරේ නිරීක්‍ෂණ චාරිකාවක නිරතවීමෙන් අනතුරුව එම පරිශ්‍රයේදී ත්‍රිවිධ හමුදා සහ පොලිස්‌ සාමාජිකයන් අමතමිනි.

අපගේ රණවිරුවන්ට එරෙහිව විදෙස්‌ විනිසුරුවරුන් ගෙන්වා නඩු ඇසිය යුතු බවට පසුගියදා එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්‌වරයා කරන ලද යෝජනාව තමා තරයේ ප්‍රතික්‍ෂේප කළ බව පැවසූ ජනාධිපතිවරයා මාතෘභූමියේ නිදහස උදෙසා ජීවිත පරිත්‍යාගයෙන් කැපවූ වීරෝදාර රණවිරුවන්ගේ ආරක්‍ෂාවත්, ගෞරවයත් වෙනුවෙන් තම ධුර කාලය තුළ වගකීමෙන් යුතුව පෙනී සිටින බව ද අවධාරණය කළේය.

මුදල් පසුපස හඹා යන ඇතැම් රාජ්‍ය නොවන සංවිධානත්, පටු දේශපාලන අරමුණ මුදුන්පත් කරගැනීම උදෙසා කටයුතු කරන විරුද්ධවාදී දේශපාලන බලවේගත් කුමන චෝදනා එල්ල කළද මේ රටේ රණවිරුවන්ගේ ප්‍රධාන ආරක්‍ෂකයා තමා බව අවධාරණය කළ ජනාධිපතිවරයා ඔවුන්ගේ ගෞරවයට හානි වන කිසිදු ආකාරයේ ක්‍රියාකාරකමකට තම ධුර කාලය තුළ ඉඩ නොලැබෙන බව ද කියා සිටියේය.

දේශීය සහ විදේශීය වශයෙන් රජයට කුමන ආකාරයේ චෝදනා එල්ල කළද කුමන ආකාරයේ සැලසුම් දියත් කළ ද මාතෘභූමියේ නිදහස, ස්‌වාධීනත්වය මෙන්ම භෞමික අඛණ්‌ඩතාව ආරක්‍ෂා කරමින් ශ්‍රී ලංකා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව තුළ රටේත්, ජනතාවගේත් ආරක්‍ෂාව උදෙසා ඉටුකළ යුතු සියලු වගකීම් ඉටුකරන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

ආරක්‍ෂක හමුදා සාමාජිකයන් සඳහා නව තාක්‍ෂණික දැනුම හා පුහුණුවීම් අවස්‌ථා වැඩි වැඩියෙන් උදාකර දෙමින් හා අවශ්‍ය සියලු වරප්‍රසාද දිනා දෙමින් ශ්‍රී ලාංකීය ත්‍රිවිධ හමුදාව ලොව විශිෂ්ට ත්‍රිවිධ හමුදාවක්‌ ලෙස ඉදිරියටම ගෙන ඒමට තම පාලන කාලය තුළ කැපවන බව ද හෙතෙම පැවසීය.

එදින පෙරවරුවේ පළමු යාපනය ආරක්‍ෂක සේනා මූලස්‌ථානය වෙත ගිය ජනාධිපතිවරයා එහි හමුදා සාමාජිකයන්ගේ සුවදුක්‌ විමසමින් සුහද හමුවකට එක්‌වූ අතර යාපනය ප්‍රදේශයේ සේවය කර විශ්‍රාම ලැබූ රණවිරුවන්ට ත්‍යාග පිරිනැමීම ද මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් සිදුවිය. ජනාධිපතිවරයාගේ පැමිණීම සංකේතවත් කරමින් ආරක්‍ෂක සේනා මූලස්‌ථානයේ නා පැළයක්‌ ද රෝපණය කෙරිණි. අනතුරුව පලාලි ගුවන් හමුදා කඳවුර වෙත පැමිණි ජනාධිපතිවරයා එහි හමුදා සාමාජිකයන් සමඟ සුහද කතා බහකට එක්‌වෙමින් ඔවුන්ගේ ගැටලු හා ප්‍රශ්න පිළිබඳ සොයා බැලීය.

අමාත්‍යවරුන් වන මහින්ද සමරසිංහ, දුමින්ද දිසානායක යන මහත්වරුන් ද ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්‌පතිවරයා ද උතුරු පළාත් ආඥපති මහේෂ් සේනානායක මහතා ඇතුළු ආරක්‍ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක්‌ ද මෙම අවස්‌ථාවන්ට එක්‌ව සිටියහ.

RSL

Related Posts