2008 – 2009 අතර කාලයේදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධියට අදාළ නඩුව අද(28) කැඳවූ අවස්ථාවේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න අත්අඩංගුවට ගෙන දෙසැම්බර් මස 05වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (28) ලබා දුන් නියෝගයකට අනුවයි.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න අද උදැසන කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණි අවස්ථාවේ ඔහු අධිකරණ භාරයට ගත්තේය.
2008 – 2009 අතර කාලයේ තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නාවික හමුදාවේ හිටපු ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිට රැකවරණය ලබාදුන් බවට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න චෝදනා එල්ල වී තිබේ.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න අත් අඩංගුවට නොගැනීම සහ මෙහි නඩු කටයුතු නිසි ලෙස සිදුනොවන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ බලපෑම් නිසා බවට පසුගිය කාලය පුරාවට හිටපු මුදල් ඇමති සහ වත්මන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සරමවීරට හිතවත් මඩ මාධ්‍ය දිගින් දිගටම ප්‍රචාරණයක් ගෙන ගියහ. එහෙත් එහෙත් එදා නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවූයේ නීතිය සහ සාමය අමාත්‍යංශය එක්සත් ජාතික පක්ෂයේ සාගල රත්නායක සහ රංජිත් මද්දුමබණ්ඩාර යටතේ තිබියදීය.
නීතිය හා සාමය අමාත්‍යංශය යොදාගනිමින් එක්සත් ජාතික පක්ෂය දිගින් දිගටම හොරුන්ගෙන් සහ අපරාධකරුවන්ගෙන් කප්පම් ගනිමින්, ඩීල් දමමින් අදාළ විමර්ශන කටයුතු සහ අධිකරණ කටයුතු යට ගසන බව ප්‍රසිද්ධ රහසක් වූ අතර අද මේ තුළින් එය ඇස් පනාපිටම ඔප්පු වී හමාරය.
මේ වන විට ජනාධිපතිවරයා යටතේ ඇති නීතිය හා සාමය අමාත්‍යංශය යටතේ නීතිය සහ අධිකරණ කටයුතු කිසිඳු ඇඟිලි ගැසීමකින් තොරව තරා තිරම නොබලා නීතිය ක්‍රියාත්මක වී අකුරට සිදුවන බවටත් මෙය කදිම සාක්ෂියකි.
එම සිද්ධියට අදාළව ආරක්ෂක මාණ්ඩලික ප්රධානීයාගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුට එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දෙනු ලැබුවද රාජකාරි අවශ්‍යතාවක් මත ඔහු මෙක්සිකෝව වෙත පිටත්ව යාම හේතුවෙන් එම අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටිය නොහැකි බව දන්වා තිබුණේය.
මේ අතර ඔහුට ඊයේ (27) උදෑසන 10.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා යළි ලිපියක් යොමුකර තිබූණද ඔහු ඊයේ දිනයේත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනීසිටියේ නැත.
කෙසේවෙතත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද උදෑසන නවයට පමණ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණීයාය.
අද පෙරවරුවේ සිය රාජකාරී නිල ඇඳුමින් සැරසී ඔහු අධිකරණය හමුවට පැමිණ සිටි අතර ඔහුගේ නීතීඥවරු එහිදී ඔහුට දැනුම් දී තිබුණේ නිල ඇඳුම වෙනුවට සිවිල් ඇඳුමින් සැරසී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි.
කෙසේවෙතත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීයා අධිකරණයෙන් පිටතට පැමිණෙන අවස්ථාවේදී ඔහු සමග පැමිණ සිටි සිවිල් ඇඳුමින් සැරසී සිටි පුද්ගලයෙක් එම අවස්ථාවේ අධිකරණ පරිශ්‍රය අසල එය ආවරණය කරමින් සිටි සන්ඩේ මෝර්නින් පුවත්පතේ ඡායාරූප මාධ්‍යවේදී උපුල් ඉන්දික මහතාට බාධා කරමින් පහරදීමට තැත් කළේය.
කෙසේවෙතත් නාවික හමුදාවේ සුළු නිලධාරියෙක් වන එම පුද්ගලයා එම අවස්ථාවේදීම පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. අද අධිකරණය හමුවේ පෙනී සිටි ආරක්ෂත මාණ්ඩලික ප්‍රධානීයා 2016 වසරේ නාවික හමුදාපතිවරයාව සිටි සමයේ හම්බන්තොට වරායේ සේවකයින් සිදුකළ විරෝධතාවයක් ආවරණය කිරීමට ගොස් සිටි මාධ්‍යෙව්දියෙකුට පහරදීමේ සිද්ධියකට මැදි විය.
මේ අතර 2008 – 2009 අතර කාලයේ තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධියට අදාළ නඩුව අද පස්වරුවේ කැඳවූ අතර අද්මිරාල් රවීන්ද්‍ර ගුණරත්න මහතා එහිදී යලි අධිකරණය හමුවේ පෙනී සිටියාය.
එහිදී සැකකරුට ඇප ලබාදුනහොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට බාධා පැමිණිය හැකි බවට තමන්ට පෙනීයන බව කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ප්‍රකාශ කළේය.
මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා තම අධිකරණය මීට පෙර අවස්ථා දෙකකදී වරෙන්තු නිකුත් කර ඇති නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුව අත්අඩංගුවට ගැනීමට සමත්ව නැත්තේ විවිධ බලපෑම් නිසා බව පෙනීයන බවයි.
එමෙන්ම සැකකාර අද්මිරාල් රවීන්ද්‍ර ගුණරත්න මහතා විසින් නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවෙකු වන ලුතිනන් කමාන්ඩර් ගලගමගේ ලක්සිරි නැමැත්තාට පසුගිය 26 වනදා නාවික හමුදා මූළස්ථානය තුලදී තර්ජනය කර බලපෑම් සිදුකර ඇති බවට ලැබී ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් වහාම විමර්ශන ආරම්භ කරන ලෙසද අධිකරණය කොටුව පොලීසියට නියෝග කර සිටියාය.
ඒ අනුව කොටුව මහේස්ත්‍රාත් රංග දසනායක මහතා නියෝග කළේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතාව දෙසැම්බර් මස 05 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.
සැකකරුගෙන් ප්‍රකාශ ලබාගැනීම සඳහා අවශ්‍ය පහසුකම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සලසන ලෙසද කොටුව මහේස්ත්‍රාත්වරයා වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළේය.
එමෙන්ම සැකකරු සම්බන්ධයෙන් විශේෂ ආරක්ෂාවක් ලබාදීම සම්බන්ධයෙන් සලකා බලන ලෙසද කොටුව මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරීවරයාට දැනුම් දුන්ණේය.