දේශපාලන හස්තයන්ගෙන් මෙහෙය වන සරසවි සිසුන්ට මා ‍දොස් කියන්නේ නැහැ – ජනපති

Spread the love

රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය සිසුන්ට අසාධාරණයක් සිදු කරමින් ඔවුන්ගේ වරප්‍රසාද අහිමිකර, නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමට රජය කටයුතු කරන බවට අද ඇතැම් පිරිසක් රටට පෙන්වීමට උත්සාහ දරන බව ජනාධිපතිවරයා පවසයි. ඒ සඳහා විශ්වවිද්‍යාල සිසුන් නොමඟ යවමින් සිටින බව ද ප්‍රකාශ කළ ජනාධිපතිවරයා එම අශීලාචාර දේශපාලන හස්තයන්ගේ මෙහෙයවීමෙන් සිදුකෙරෙන කුමන්ත්‍රණ පිළිබඳ තමා කිසිදු විශ්වවිද්‍යාල සිසුවෙකුට දොස් නොනගන බව ද කියා සිටියේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (22) පෙරවරුවේ ‍පොළොන්නරුව ලංකාපුර මහා විද්‍යාලයේ පැවැති උත්සවයක දී ය. වසරකට මේ රටේ ලක්ෂ දෙක හමාරක පමණ සිසුන් පිරිසක් උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින අතර ඉන් අනූදහසක්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලැබුවත්, විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නේ විසිපන්දහසක පමණ සුළු පිරිසක් බව ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

ඉතිරි දරුවන්ගේ උසස් අධ්‍යාපන සිහින මල්ඵල ගැන්වීම වෙනුවෙන් රට තුළ රාජ්‍ය විශ්වවිද්‍යාල සේම ඉහළ ප්‍රමිතියකින් යුත් පෞද්ගලික විශ්වවිද්‍යාල ද බිහිවිය යුතු බව පැවසූ ජනාධිපතිවරයා රටේ කිසිදු දරුවකුගේ අධ්‍යාපන අයිතීන්, කිසිදු අවස්ථාවක සීමා කළ නොහැකි බව ද පැවැසීය.

එමෙන්ම වාර්ෂිකව අසූ දහසක පමණ පිරිසක් උසස් අධ්‍යාපනය සඳහා විදේශගතවන අතර, තම අධ්‍යාපන අපේක්ෂා වෙනුවෙන් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් ගේ දොර පවා උකසට තබමින් අධ්‍යාපනය සොයා රට හැරයාම කනගාටුදායක තත්ත්වයක් බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලයක් හෝ අධ්‍යාපන ආයතනයක් වුවද රජය පිළිගන්නා ප්‍රමිතීන්ට අනුව අධ්‍යාපනය ලබාදිය යුතුය යන ප්‍රතිපත්තිමය තීන්දුවට රජය එළැඹ තිබෙන අතර මාළඹේ වෛද්‍ය විද්‍යාලය පිළිබඳ විශ්වවිද්‍යාල සිසුන් සමඟ පැවැති සාකච්ඡාවේදී ඔවුන්ගේ ඉල්ලීම පරිදි සංශෝධන රැසක් සිදු කිරීමට රජය පියවර ගත් බව ද කියා සිටියේය.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාසල් රැසක නව ගොඩනැගිලි සිසු අයිතියට පවරාදීම ඇතුළු සංවර්ධන කටයුතු රැසක් ඊයේ දිනයේ ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

RSL

Related Posts