සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුළු වුණු සරසවි සිසුන්ට නීතිය තදින්!

Spread the love

සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා වැදී රජයේ දේපළවලට පහරදී රුපියල් ලක්‍ෂ ගණනක අලාභහානි සිදු කළ බවට චෝදනා ලැබ සිටින විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සියලුම දෙනා අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්‌පති ප්‍රියන්ත ජයකොඩි මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩාවැදුණු විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් එහි දේපළ කඩා බිඳ දමමින් කලහකාරී ලෙස හැසිරෙන ආකාරය සහිත වීඩියෝපට සියල්ල මේ වනවිට පොලිසිය මගින් ලබාගෙන ඇතැයි පැවසූ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා එම වීඩියෝපට පරීක්‍ෂා කරමින් ඒ ඔස්‌සේ එම සැකකාර ශිෂ්‍යයන් හඳුනාගනිමින් සිටින බවද කියා සිටියේය.

මේ ආකාරයට රජයේ වගකිවයුතු ආයතනයකට කඩා වැදී රජයේ දේපළවලට පහරදී විනාශ කිරීම බරපතළ වරදක්‌ බව පැවසූ ප්‍රියන්ත ජයකොඩි මහතා මින් ඉදිරියට මෙවැනි අශෝභන ක්‍රියා නොකරන තැනට කටයුතු කරන බවද කියයි.

අධිකරණය මගින් තහනම් නියෝගයක්‌ නිකුත් කර තිබියදීත් එම නියෝග නොතකමින් සිදු කළ විනාශය සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතුකරමින් සිටින බවද ජයකොඩි මහතා වැඩිදුරටත් කියා සිටියේය.

තවදුරටත් අදහස්‌ දැක්‌වූ පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේද කීය.

දැනට අපි ශිෂ්‍යයන්ගේ පහරදීමෙන් සිදුවූ අලාභය තක්‌සේරු කරමින් ඉන්නේ. විශ්වවිද්‍යාල සිසුන්ගේ මේ හැසිරීම නම් අන්තිමයි. ඇමැතිතුමා සමඟ සාකච්ඡා කරනවා නම් ඒකේ පිළිවෙළක්‌ තියෙනවා.

අනිත් එක තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවකයන් බලෙන් එළියට ඇදලා දැමීම. මේවා කිසිසේත්ම අනුමත කරන්න බැරි දේවල්”

සෞඛ්‍ය අමාත්‍යාංශ භූමියෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඉවතට දැමීමට පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය එල්ල කළ බැටන් ප්‍රහාරවලින් තුවාල ලැබූ 65 දෙනකු තවදුරටත් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව එහි අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

මෙම සිද්ධියෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ 89 දෙනෙක්‌ සහ පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු හයදෙනෙක්‌ තුවාල ලැබූහ.

-දිවයින-

RSL

Related Posts