සෞඛ්‍ය අමාත්‍යාංශයේ දූෂණ සොයන්න ජනාධිපති කොමිසමක්!

Spread the love

පසුගිය වසර 04 ඇතුළත සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිදුවී ඇති බව කියන දූෂණ අක‍්‍රමිකතා පිළිබඳව සෙවීමට ජනාධිපති කොමිසමක් පත් කිරීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා එකඟ වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලූත්ගේ පවසයි.

සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම, වෛද්‍ය සේවාව සඳහා යෝජිත නව ව්‍යවස්ථාවේ බලපෑම්, සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ පසුගිය කාලයේ සිදුවූ දූෂණ අක‍්‍රමිකතා යන කරුණු සම්බන්ධයෙන් පෙරේදා (12) ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිවරයා සමඟ සිදුකළ සාකච්ඡුාවේදී මෙම කොමිසම පත්කිරීමට ජනාධිපතිවරයා එකඟ වූ බවද අලූත්ගේ පැවසීය.

වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන ලද කරුණු සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුකළ ජනාධිපතිවරයා ජනාධිපති අතිරේක ලේකම්වරයකු යටතේ කමිටුවක් පත්කර තම සංගමය සමඟ ඉදිරි කටයුතු කරගෙන යෑමට ඉඩ ප‍්‍රස්ථාව සලසා දුන් බවද ඔහු පැවසීය.

වෘත්තීයවේදීන්ට බලපාන ගැටලූ සම්බන්ධයෙන් වෘත්තිකයන්ගේ නිදහස් පෙරමුණ විසින් පෙබරවාරි 04 වැනිදාට යෙදෙන නිදහස් දින පවත්වන උත්සවයට ජනාධිපතිවරයාට ආරාධනා කළ බවත් එම අවස්ථාවට සහභාගි වන බව ජනාධිපතිවරයා මෙහිදී ප‍්‍රකාශ කළ බවත් අලූත්ගේ කීය.

යෝජිත නව ව්‍යවස්ථාව මගින් ආණ්ඩුකාරවරුන් පත්කිරීමට ජනාධිපතිවරයාට තිබෙන බලතල ඉවත් කිරීමට කටයුතු කරන බවත් එතුළින් සෞඛ්‍ය ප‍්‍රඥප්තියට බලපෑම් එල්ල කර පළාතෙන් පළාතට සෞඛ්‍ය ප‍්‍රඥප්ති සකස් කිරීමට ගියහොත් සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයට සිදුවන බලපෑම ජනාධිපතිවරයාට පෙන්වා දුන් බවත්, පළාත් සභාවලට අනවශ්‍ය නීති සකස් කිරීමට ඉඩ නොදෙන බව ජනාධිපතිවරයා එහිදී පැවැසූ බවද ඔහු කීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දූෂණ අක‍්‍රමිකතා ගැන ජනාධිපතිවරයා දැනුවත් කළ බවත්, එහිදී මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාටද ලිපිගොනු රැසක් ලැබී තිබෙන බවත්, තම සංගමය විසින්ද තවත් ලිපිගොනු කිහිපයක් ජනාධිපතිවරයාට භාරදුන් බවද අලූත්ගේ කීය. ජනාධිපතිවරයා විසින් එහිදී දූෂණ අක‍්‍රමිකතා සෙවීමට ජනාධිපති කොමිසමක් පත්කිරීමට එකඟ වූ බවත් එය බොහෝදුරට අද (14) සිදුකෙරෙනු ඇතැයි තම සංගමය අපේක්‍ෂා කරන බවත් පැවැසීය. එහිදී පත්කරන එම කොමිසමට තම සංගමය සතු තොරතුරු ලබාදීමට සූදානමින් සිටින බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.

RSL

Related Posts