2015 ජනවාරි සිට 2018 දෙසැම්බර් තෙක් රාජ්‍ය ආයතනවල දූෂණ සොයන්න ජනපති කොමිසමක්

Spread the love

ඉකුත් 2015 ජනවාරි මස 15 වැනිදා සිට 2018 දෙසැම්බර් මස 31 දා දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දූෂණ, වංචා පිළිබඳව සොයා බැලීමට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන විසින් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක්
පත් කර ඇත.

මෙම කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස විශ‍්‍රාමික ශේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න කටයුතු කරන අතර හිටපු මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන සහ හිටපු විගණකාධිපති පස්දුන් කෝරළේ ආරච්චිගේ පේ‍්‍රමතිලක, හිටපු අමාත්‍යංශ ලේකම් ලලිත් ආර්. ද සිල්වා, හිටපු නියෝජ්‍ය පොලිස්පති එන්. කේ. ඞී. ජේ. අමරසිංහ යන මහත්වරුන් සෙසු සාමාජිකයන් ලෙස පත් කර ඇත.

මෙම කමිටුවේ පළමු අතුරු වාර්තාව මාස තුනක් ඇතුළතද, නිගමනයන් හා නිර්දේශයන් ඇතුළත් අවසන් වාර්තාව මාස හයක් ඇතුළත ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතු වෙයි .

2015 ජනවාරි මස 15 වැනිදා සිට 2018 දෙසැම්බර් මස 31 වැනිදා දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදු වී ඇතැයි සැලකෙන දූෂණ ක‍්‍රියා, වංචා, සාපරාධි ලෙස විශ්වාසය කඩ කිරීම, දේපළ සාපරාධී පරිහරණය, රැවටීම සහ බලය හෝ අධිකාරය, රාජ්‍ය සම්පත් හා වරප‍්‍රසාද අනිසි ලෙස භාවිත කිරීම හෝ අවභාවිතය හා එම වරදවලට සහ වැරදි ක‍්‍රියාවන් ක‍්‍රියාවන්හි ප‍්‍රතිඵලයක් ලෙස රාජ්‍ය වත්කම්වලට, රාජ්‍ය ආදායමට බරපතළ අලාභ හෝ හානි සිදුවී තිබීම සම්බන්ධයෙන් දේශපාලන පදවි දැරූ හෝ තවදුරටත් දරමින් සිටින පුද්ගලයන්ට සහ රජයේ සේවකයින් හා ව්‍යවස්ථාපිත මණ්ඩලයන්හි නිලධාරීන් වශයෙන් සේවයේ නිරතව සිටි සහ තවදුරටත් සේවයේ නිරතව සිටින පුද්ගලයන්ට එරෙහි චෝදනා පිළිබඳව මහජන පැමිණිලි, තොරතුරු සහ සෙසු කරුණු කැඳවීම සහ ඒවා කඩිනම්, අපක්ෂපාතී පුළුල් විමර්ශනයකට ලක් කිරීම මෙම කොමිෂන් සභාවේ කාර්යභාරය වේ.

RSL

Related Posts