ජනගහනයෙන් 45% ක දෛනික ආදායම රුපියල් 800 ට අඩුයි

Spread the love

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට හතළිස්‌ පහක දවසේ ආදායම රුපියල් අටසියයට වඩා අඩු ඉතා අවම මට්‌ටමක පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණ පීඨයේ මහාචාර්ය කෙනඩි ඩී. ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

රට ආර්ථික වශයෙන් සම්පූර්ණයෙන්ම කඩා වැටී ජනතාව උග්‍ර දරිද්‍රතාවකින් පෙළෙන බව මෙයින් පැහැදිලි වන බවද මහාචාර්යවරයා අවධාරණය කළේය.

මාධ්‍ය වෙත අදහස්‌ දක්‌වමින් මේ බව සඳහන් කළ මහාචාර්ය කෙනඩි ඩී. ගුණවර්ධන මහතා මෙසේද කීය.

රටේ ජනගහනයෙන් 1.8% ඉක්‌ම වූ අති විශාල පිරිසකගේ දවසේ ආදායම රුපියල් තුන්සියයත් තුන්සිය පනහත් (300 – 350) අතර ප්‍රමාණයක්‌. ජනගහනයෙන් 1.8% ක්‌ කියන්නේ සැලකිය යුතු ප්‍රමාණයක්‌. මෙතරම් විශාල ජනතාවක්‌ අන්ත අසරණ වී සිටින්නේ රටේ ආර්ථිකය කඩා වැටී තිබෙන නිසයි.

එක්‌සත් ජාතික පක්‌ෂය සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය ඒකාබද්ධව ගොඩනඟා ගෙන තිබෙන යහපාලන ආණ්‌ඩුවට ආර්ථිකය කළමනාකරණය කරගන්න බැරි වෙලා තිබෙනවා. මේ දෙගොල්ලන්ගේ ආර්ථික ප්‍රතිපත්ති වැඩපිළිවෙළ, සැලසුම් සහ ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් පොදු එකඟතාවකට පැමිණීමට වසර 04 ක්‌ තිස්‌සේ ඔවුන්ට නොහැකි වුණා. ආර්ථිකය සම්බන්ධයෙන් දෙගොල්ලන්ගේ ප්‍රතිපත්ති හා සැලසුම් එකිනෙකට වෙනස්‌.

බදු සම්බන්ධයෙනුත් රජයට කිසිදු සැලසුමක්‌ නැහැ. ඔහේ හිතෙන හිතෙන විදියට දිනපතාම වැඩි කරන බදු රටට විශාල ප්‍රශ්නයක්‌ වෙලා තිබෙනවා. මේ හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර සහ සේවා මිල ගණන් අහස උසට නගිමින් තිබෙනවා. අද රටේ අතිශය සාමාන්‍ය සහ ලාභදායීම කෑම පාර්සලයක්‌ පවා අවම වශයෙන් රුපියල් 100 ක්‌ පමණ වෙනවා. මේ තත්ත්වය ජනතාවට ඔරොත්තු දෙන්නේ නැහැ.

රටේ ධනය විදේශ රටවලට ඇදී යැම වළක්‌වන්න ක්‍රමයක්‌ නැහැ. මහ මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘති ඇතුළු මහා පරිමාණ සංවර්ධන යෝජනා ක්‍රමවල ඉතාම ලාභ ශ්‍රමයට වැඩ කරන්නේ චීන කම්කරුවන්. මේ තත්ත්වය රටේ ආර්ථිකයට බලපාන්නේ ඉතා නරක විදියටයි. එදා මහවැලි යෝජනා ක්‍රමය ඇතුළු මහා පරිමාණ සංවර්ධන යෝජනා ක්‍රමවල වැඩ කිරීමේ අවස්‌ථාව හිමි වුණේ දේශීය කම්කරුවන්ටයි. ඒ හේතුවෙන් එදා රටේ ජනතාවගේ අත මිට සරු වුණා. අද බොහෝ පිරිසකගේ ආදායම් අහිමි වෙලා.

රටේට්‌ සුළු සහ මාධ්‍ය පරිමාණ ව්‍යාපාර ප්‍රාග්ධන හිඟය හේතුවෙන් කඩා වැටී තිබෙනවා. රටේ ආර්ථිකයට විශාල වශයෙන් බලපා තිබෙන්නේ මේ තත්ත්වයයි. රටේ ව්‍යාපාරවලට අත හිත දී ඒවා නඟා සිටුවීම සඳහා රජය කඩිනම් ක්‍රියා මාර්ග ගැනීම ඉක්‌මන් අවශ්‍යතාවක්‌. එන්ටර් ප්‍රයිස්‌ ශ්‍රී ලංකා ව්‍යාපෘතිය රජය ආරම්භ කළ යුතුව තිබුණෙ 2015 දී පමණ. රජයේ අනෙකුත් වැඩ සියල්ලම වගේ එම වයාපෘතියත් පරක්‌කු වුණා.

එක්‌සත් ජාතික පක්‌ෂයේ ආණ්‌ඩුවක්‌ ආ විට ජනතාවගේ අතමිට සරු වන බවට එදා සිට මතයක්‌ තිබුණා. ඒ ජනතා මතය හා විශ්වාසය පිළිගැනීම අද වනවිට මිත්‍යාවක්‌ බවට පත් කර ඇතැයි ද මහාචාර්ය කෙනඩි ගුණවර්ධන මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

RSL

Related Posts