සැබෑ ‘වහලුන්’ වෙනස්වූ ශ්‍රීලනිප ද..? අවුරුදු 24 ක් එක තැන ලගින එජාපය ද..?

Spread the love

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයෙන් ටික කලකට පසුව ‘වහලුන් හා නිදහස‘ පිළිබඳ ප්‍ර‍සිද්ධ ප්‍ර‍කාශ කළේය. එදා පටන් එජාපය ද, ජවිපෙ ද, සිවිල් ක්‍රියාකාරිකයින් ද, මහින්දවාදීන්ට විශේෂණයක් යෙදුවේ ‘වහල්ලු‘ කියා ය.

‘ශ්‍රීලනිප‘ පාක්ෂිකයින්ෙ නොඑසේනම්, වඩාත් නිවැරදිව ‘මහින්ද හිතවාදීන්‘ යනු මානසික වහලුන් බව මේ කථාවේ තේරුමය.

ශ්‍රීලනිප ය වහල් පක්ෂයක් ද?

වහලුන් යැයි කියන ශ්‍රීලනිප 1994 සිට අද දක්වා අවස්ථා 4 ක දී, තම පක්ෂ නායකත්වය වෙනස් කරගෙන ඇත. සිරිමාවෝ බණ්ඩාරනායක, චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යුග ලෙස එම පක්ෂය පරිනාමය වී ඇත. 2015 දී වෙනස් වූ දේශපාලන තත්ත්වය යටතේ වර්තමානය වනවිට ‘පොහොට්ටුව‘ බවට පත් විය. දැන් එම පක්ෂයේ නිල නායකයා ජී.එල්.පීරිස් ය. උත්තරීතර නායකයා බැසිල් රාජපක්ෂ ය.

පළාත් පාලන ඡන්දයේ ප්‍ර‍ගතියක් ලැබූ ජවිපෙ ද 1994 සිට අද දක්වා ‘සැගවුණ නායක‘, සෝමවංශ අමරසිංහ සහ අනුර කුමාර දිසානායක යටතේ පරිනාමය වී ඇත. ජනතා සංගමය, ජාතික විමුක්ති පෙරමුණ (විමල්), පෙරටුගාමී සමාජවාදී පක්ෂය (කුමාර්), හා ජනතා සේවක පක්ෂය (සෝමවංශ) ලෙස පරිනාමය නැතිනම් අඩුම ගානේ උප විශේෂ බවට හෝ පත් විය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍ර‍සය එහි නිර්මාතෘ අශ්රෝෆ් මහතා ය, ඔහුගේ මරණින් පසුව ෆේරියල් අශ්රෝෆ් සහ රවුෆ් හකීම් යටතේ පරිනාමය වී ඇත. මේ ඡන්දය වනවිට මුස්ලිම් ජාතික නායකත්වය හකීම් ගෙන් රිෂාඩ් බදුර්දීන් ට පවරා ඇත. ඒ අනුව එහිද යම් පරිනාමිත ස්වභාවක් ඇත.

උතුරේ ද්‍ර‍විඩ සන්ධානයේ පක්ෂයන් දේවානන්ද, ආනන්ද සංගරී, සේනාධිරාජා, ද ටෙලෝ, ඊපීආර්එල්එෆ් කණ්ඩායම් 2 ද, ඊරෝස් ද, අවසානයේ දී මේ මැතිවරණයේ දී සම්බන්ධන් හා පොන්නම්බලම් සන්ධාන 2 ලෙස ද පරිනාමය වී ඇත.

ලසසප ය බාහු (නසසප) හා වාසු (ප්‍රවාපෙ) ලෙසත් නැවත බාහු හා වමේ හඬ (නීල් හා ලීනස්) ලෙසත් පරිනාමය විය. සිරිතුංග සහෝදරයා ගේ එක්සත් සමාජවාදී පක්ෂය ද මහින්ද දේවගේ (සප) ට පරිනාමය විය.

ලංකාවේ ලෝකයේ අඩුම වේගයකින් පරිනාමය වන්නේ ‘කොමියුනිස්ට් පක්ෂය‘ යැයි කවුදෝ වරක් කීවේය. එයත්, කේ.පී.සිල්වා ගේ සිට ඩිව් ගුණසේකර යුගයට 2000 ආසන්නයේ දී නායකත්වය වෙනස් වූයේ ය. (එතැනින් පරිනාමය නැවතී ඇතැයි ද කියනු ලැබේ)

වහලුන් කොහිදැයි හා කවුරුන්දැයි සපථකළ රනිල්

එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායක රනිල් වික්‍ර‍මසිංහ පක්ෂ නායකත්වයට පත් වන්නේ 1994 දී ය. එතැන් සිට අද දක්වා වසර 24 ක් පක්ෂ නායකත්වයේ ය. එජාපයේ පරිනාමය නැවතී ඇත. පක්ෂ නායක රනිල් වික්‍ර‍මසිංහ ගල්-වැලි-දහයියා එකතුවන උණ්ඩුකපුච්චයක් බවට පත්වී ඇත.

මේ ඉතිහාසය ලිව්වේ අනෙකාට ‘වහලුන්‘ යැයි කියන පිරිසට සැබෑ වහලුන් හඳුනාගැනීමට කමටහන් දීමට ය.

විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂය යනු ධනේෂ්වර දේශපාලන ව්‍යාපාරයක් සේ සැලකෙයි. එහි මේ ආකාරයේ වහලුන් සිටිය නොහැකි බව දේශපාලනිකව උලකල්පනය කළ හැකිය. එහෙත් මේ වත්මන් එක්සත් ජාතික පක්ෂය කිරියාවෙන් ගජමිතුරු ලිබරල් ධනවාදී පැවැත්මකට අතවනන හා ඒ අංගලක්ෂණ හෙබි ව්‍යාපාරයකි. හුදෙක් මිතුරු සමාගමකි. එසේ හෙයිනි මේ පවතින්නේ විකෘතියකි. ඒ විකෘතිය නම් සැබෑ වහල්ලු ප්‍රතිනිර්මාණිත එකම ව්‍යාපාරය අදවනවිට එක්සත් ජාතික පක්ෂය බව ලොවට කියා පෑමය. දැන් වහල්ලු තෝරා බේරා ගත හැකිය.

ඔබ එජාප පාක්ෂිකයෙකු, හිතවතෙකු නම් ‘පොහොට්ටුව‘ ට හෝ ශ්‍රීලනිප ය ට හෝ ‘වහලුන් යැයි‘ ඇමතීම දැන්වත් කරුණාකර නවතා දමන්න.

එය 1994 සිට අද දක්වා වසර 24 ට පක්ෂ නායකයින් 5 ක් (මැතිනිය, චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රී හා ජී.එල්.) ද, බැසිල් රාජපක්ෂ නම් සැබෑ නායකයා ද, මහින්ද නම් අාධ්‍යාත්මික නායකයා ද බිහිකළ පක්ෂයකි. මෙනයින්, ඔවුන් වහලුන් නොවේ..!!! කාලයෙන් කාලයට ගැලපෙන අයුරින් වෙනස් වූ, වෙනස් වන පරිනාමය වන පණ ඇති පක්ෂයකි.

සැබෑ වහලුන් යනු වසර 24 ක් එකම ශරීර කුඩුවක්, නායකත්වයේ තබාගෙන සෑම මැතිවරණයකින්ම එක පිට එක පරාජය වැලද ගන්නා පක්ෂයකි. අනුන්ගේ පිහිටෙන් ලැබෙන අගමැතිකම වසර 2 කට වැඩිය තබාගත නොහැකි පක්ෂයකි.

‘රජා‘ යැයි කීවත් මහින්ද රාජපක්ෂ පරාජයට පත් වූ පසුව, රනිල් ගෙන් ඉල්ලාගත් හෙලිකොප්ටරයේ නැගී මැද මුලනට ගියේය. ඔහුගේ අනුගාමිකයින්ට ‘වහලුන් යැයි‘ කියන උදවිය, විමල් වීරවංශ ගේ ‘කුරුඳුවත්තේ ලංසි පැපොල්‘ ගෙඩියට කොපමණ වහල් වී ඇති දැයි තම තම නැන පමණින් දැනගත යුතු..!!!

කරුණාකර තවදුරටත් ශ්‍රීලනිපාක්ෂිකයින්ට ‘වහලුන් කියන්න‘ එපා..!

ඔවුන් කාලයෙන් කාලයට වෙනස් වී ඇත. එජාපය පමණක් එක තැන නතර වී ඇත.

-ජනිත් විපුලගුණ-

RSL

Related Posts