ඛේමාගේ කොලූවාටත් දැනෙන අලූත් ජනවරමක උණුසුම

Spread the love

මේ දිනවල ලොකුම කතාබහ ඇත්තේ අයවැය පිළිබඳවය. ඛේමාගේ කොලූවා හෙවත් මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කළ 2019 අයවැයත් සමග ඒ හා සැබැඳි දේශපාලන කතා ගොන්නක් නිර්මාණය වී ඇත.

අයවැයත් සමග නිර්මාණය වී ඇති දේශපාලන වටපිටාව මාධ්‍යයටත් රසට හපකළ හැකි ටොෆියක් බවට පත්වී ඇත. සමහර මාධ්‍ය පවසන්නේ අයවැය පරද්දන්න රහස් මෙහෙයුමක් කි‍්‍රයාත්මක බවයි. තවත් සමහර මාධ්‍ය පවසන්නේ අයවැය පරාජය කර නව ආණ්ඩුවක් හැදීමේ ප‍්‍රවණතාවයක් ඇති බවය. තවත් සමහර මාධ්‍ය පවසන්නේ අයවැය සම්මත කර ගැනීම අවිනිශ්චිත බවය. එනිසාම මහ ඡුන්දයක් අත ළඟ බවද පැවසේ.

කෙසේ හෝ වේවා අයවැය පිළිබඳව මාධ්‍ය ඉදිරිපත් කරන දේ සැලකිල්ලට ගත් විට පෙනී යන්නේ ස්ථාවර ආණ්ඩුවක් මේ මොහොතේ අප රටේ ස්ථාපිත වී නොමැති බවය. සෙලවෙන දතක් සේ මේ ආණ්ඩුවේ ආයු කාලය පිළිබඳ කාටවත් තීන්දු තීරණ දිය නොහැකි තත්ත්වයක් උදාවී ඇත. අයවැය ඉදිරිපත් කළ ඛේමා කොලූවාට හෙවත් ඇමැති මංගල සමරවීරටවත් මේ අයවැය ගැන ස්ථිර සාර මතයක් නොමැති තරම්ය. ඔහු පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් ප‍්‍රකාශ කළේ මහ ඡුන්දයක් ජනාධිපතිවරණයට පෙර පැවැත්වීමට ඇති ඉඩකඩ වැඩි බවය. එනිසා යම්කිසි අයුරකින් මෙම අයවැය පරාජය වුවහොත් ඊළඟට එන එක්සත් ජාතික පෙරමුණ රජයකින් මෙවර අයවැයේ (2019) යෝජනා කි‍්‍රයාත්මක කරන බවද හෙතෙම ප‍්‍රකාශ කළේය.

මේ අතර පසුගිය දා ජනාධිපති මන්දිරයේදී පැවැති මාධ්‍ය හමුවේදී ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේ ජනාධිපතිවරණයට කලින් මහ මැතිවරණයක් ඒමට ඉඩකඩ ඇති බවයි. ජනාධිපතිවරයා ඊට හේතු වශයෙන් පෙන්වා දුන්නේ පවතින ආණ්ඩුවේ අස්ථාවරත්වය තුළ මහා මැතිවරණය ඉක්මන් විය හැකි බවය.

ජනපතිවරයා, මුදල් ඇමැතිවරයා පමණක් නොව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඞී. ලාල්කාන්තද ප‍්‍රකාශ කර ඇත්තේ කඩිනමින් මහ මැතිවරණයකට යා යුතු බවයි. මේ සියලූ පාර්ශ්වයන්හි අදහස් සලකා බැලීමේදී පෙනී යන්නේ මහ මැතිවරණයක් රටට අත්‍යවශ්‍ය බවයි.

අද වන විට බලය හොබවන එක්සත් ජාතික පෙරමුණටද පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නැත. එසේම විපක්‍ෂය නියෝජනය කරන පොදුජන පෙරමුණටද (පොහොට්ටුවද) පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැත. මෙම තත්ත්වය හමුවේ ආණ්ඩුවට සිය බලය රැුක ගැනීම සඳහා ටී. එන්. ඒ. සහාය

ලබාගැනීමට සිදුව ඇත. මෙම තත්ත්වය හමුවේ මහ මැතිවරණයට ගොස් පිරිසිදු යහපත් ආණ්ඩුවක් පිහිටුවා ගත හැකි නම් එය ඉතාම කාලෝචිතය. ආණ්ඩු පක්‍ෂය, විපක්‍ෂයටත්, විපක්‍ෂය ආණ්ඩුවටත් එකිනෙකාට ඇඟිලි දිගුකර ගනිමින් නටන නාඩගමෙන් මේ රටේ ජනතාවට යහපතක් නැත.

අපේ රටේ මේ මොහොතේ රුපියල දැඩි ලෙස අවප‍්‍රමාණය වී ඇත. උපාධිධාරීන් ඇතුළු රැුකියා විරහිත රැකියා පෝලිම් වැඩිවී ඇත. අත්‍යවශ්‍ය භාණ්ඩ, ආහාර මිල ගණන් පවා ඉහළ ගොස් ඇත. මේ තත්ත්වය හමුවේ රටට විදේශ ආයෝජනයන් පැමිණෙන්නේද නැත. එනිසා ඔද්දල් වී කඩා හැලෙන ශ‍්‍රී ලාංකික ආර්ථිකය ගොඩ නඟා සිටුවීමට නම් අලූත් ගමන් මගක් සහිත නව ප‍්‍රවේශයක් ශ‍්‍රී ලංකාවට අවැසිවී තිබේ. අලූත් ජනවරමකින් ශක්තිමත් ගමනක් යා හැකි අලූත් රජයක් රටට අවශ්‍යය. දිනන්නේ නිල්, කොළ, රතු පක්ෂද නැතහොත් මේ හා ගැටගැසුනු සන්ධානද යන්න අපට ප‍්‍රශ්නයක් නොවේ. නමුත් තවදුරටත් රට මේ අයුරින් ඉදිරියට ගෙනයා නොහැකි බව කවුරු කවුරුත් තේරුම් ගත යුතුය.

-දිවයින-

RSL

Related Posts