මාධ්‍යවේදියාට පහර දුන් පොලිස් පරීක්ෂකවරයා අත් අඩංගුවට

Spread the love

යාපනයේ මාධ්‍යවේදියකුට පහරදී තුවාල සිදුකිරීමේ චෝදනාව මත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන යාපනය අධිකරණයට ඉදිරිපත් කළ පොලිස් පරීක්ෂකවරයා රුපියල් 50,000ක ඇප මත මුදාහැර තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණේ යාපනය කෝපායි පොලිසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ පොලිස් පරීක්ෂක ඒ.ජී. ගුණරත්න නමැති අයයි.

අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් වූ නඩු විභාගය මාර්තු 26 වැනිදා නැවත කැඳවන බවද අධිකරණය නියෝග කළේය.

පහරදීම සම්බන්ධයෙන් උතුරු පළාත් ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක් විසින් සිදුකළ විශේෂ විමර්ශනයකින් අනතුරුව පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.

මෙලෙස පහරදී ඇත්තේ යාපනය සිට විකාශය වන පෞද්ගලික මාධ්‍ය ආයතනයක මාණ්ඩලික වාර්තාකරුවකු වන කුගරාජ් නඩරාජ් නමැත්තාටයි. පහරදීම හේතුවෙන් මාධ්‍යවේදියා මේ වනවිට යාපනය රෝහලෙහි නේවාසික ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කළේය.

යාපනය, කොක්කුවිල්, කරුවෙම්පිල්ලෙයි ප්‍රදේශයේ නිවෙසකට 19 වැනිදා දහවල් කිසියම් පිරිසක් පෙට්රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ සිද්ධියක් ආවරණය කිරීමට ගිය අවස්ථාවේදී ප්‍රහාරය එල්ල වී ඇති බව යාපනය දිස්ත්‍රික් මාධ්‍ය සංගම් නියෝජිතයෝ පැවැසූහ.

සැකකාර පොලිස් පරීක්ෂකවරයා විසින් සිවිල් ඇඳුමින් පැමිණ මාධ්‍යවේදියාට පහරදී ඇති බවද පොලිසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ කුගරාජ් නඩරාජ් කියා සිටියේ තමන් මාධ්‍යවේදියකු බව පවසමින් හැඳුනුම්පත ඉදිරිපත් කළ අවස්ථාවේදී තමන්ට පහර දුන් බවයි.

මට තොරතුරක් ආවා කොක්කුවිල්හි නිවෙසකට පෙට්රල් බෝම්බයක් එල්ල කරලා තියෙනවා කියා. එම ස්ථානයට ළඟාවන විට කෝපායි පොලිසියේ නිලධාරීන් දහදෙනකු සිවිල් ඇඳුමින් සැරසී පැමිණ සිටියා. මම ඔවුන්ට බාධාවක් නොවන පරිදි මගේ කැමරාවෙන් සිදුවීම වීඩියෝ කළා. පසුව එහි සිට එක් අයෙක් පැවැසුවා ස්ථානයෙන් පිටත සිට වීඩියෝ දර්ශන ලබාගන්නා ලෙස. මා ඔහු කියූ පරිදි සිද්ධිය වූ ස්ථානයෙන් පිටත මාර්ගයේ සිට වීඩියෝ දර්ශන ලබාගැනීම ආරම්භ කළා.

එම අවස්ථාවේදී ප්‍රකෝපකාරීව හැසිරෙමින් පැමිණි කෝපායි පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂකවරයා මා හට පහරදෙමින් අසභ්‍ය වචනයෙන් බැන වැදී වීඩියෝ දර්ශන ගැනීම නවතා දමන ලෙස තර්ජනය කළා. පසුව ඔහුට විරුද්ධව පුළුවන් නම් ක්‍රියාමාර්ග ගෙන පෙන්වන ලෙසත් එලෙස සිදුකළහොත් බලාගමු යැයිද පවසා සිටියා.

පහරදීම හේතුවෙන් තුවාල ලබා සිටීම නිසා මා එම ස්ථානයෙන් ඉවත්ව යාපනය පොලිසිය වෙත සිද්ධිය පිළිබඳ දැනුම්දී යාපනය රෝහල වෙත ඇතුළත් වුණා. සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

RSL

Related Posts