හිටපු අගවිනිසුරු නීතිය වරදවා ගෙන ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!

Spread the love

පසුගියදා සම්මත කළ 2017 අංක 17 දරණ පළාත් සභා ඡන්ද විමසීමේ (සංශෝධන) පනත මඟින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවන බවට පවසමින් හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා පැවරූ පෙත්සම විභාග නොකරම නිශ්ප්‍රභ කරන්නැයි නීතිඥ උණවටුන කේ. ලක්සිරි මහතා ඊයේ (02) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අතරමැදි පෙත්සමක් ගොනු කරමින් ඉල්ලා සිටියේය.

නීතියක් සම්මත වී තිබියදී අවලංගු වු නීතියකින් (1988 අංක 02 දරණ පළත් සභා පනත අනුව) ඡන්දය පැවැත්වීමට ඉල්ලීම නීතිය නොමග යැවීමක් බවද ජනතා පරමාධිපත්‍යයට පටහැනි බවද පවසන ලක්සිරි මහතා පෙත්සම මූලික අවස්ථාවේම නිශ්ප්‍රභ කරන ලෙසද ඉල්ලා ඇත.

හිටපු අගවිනිසුරුවරයා පැවරූ මූලික අයිතිවාසිකම් පෙත්සම දෝෂ සහිත නීතිය වරදවා ක්‍රියාවේ යෙදවූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුරැකි ජනතා පරමාධිපත්‍යයට පටහැනි යුක්තිය අපගමනය කරන හා පාර්ලිමේන්තු කටයුතු බරපතල අර්බුදයකට ලක් කරන්නක් බැවින් නිශ්ප්‍රභ කරන ලෙසද වැඩිදුරටත් ඉල්ලා ඇත.

හිටපු අගවිනිසුරුවරයා විසින් 2017 පළාත් සභා ඡන්ද විමසීමේ (සංශෝධන) පනතට එරෙහිව පසුගිය 28 දින ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමට අතරමැදි පෙත්සමක් ගොනු කරමින් මෙම ඉල්ලීම කර ඇත.

පළාත් සභා ඡන්ද විමසීමේ පනත 2017 ‍සැප්තැම්බර් 20 දින පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක බහුතර ඡන්ද ප්‍රමාණයකින් සම්මතකළ අතර සැප්තැම්බර් 22 දින කථානායකවරයා ඊට අත්සන් තැබීය.

පළාත් සභා මැතිවරණයේදී කාන්තා නියෝජනය වැඩි කිරීමට ප්‍රතිපාදන සැකසීම හා කො‍ට්ඨාස ක්‍රමය හඳුන්වාදෙමින් මෙම පනත සම්මත කෙරිණි.

සරත් නන්ද සිල්වා ම හතා මෙම පෙත්සම නීතිපතිවරයා කථානායකවරයා හා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වගඋත්තර කරමින් මෙම පෙත්සම ගොනු කර තිබිණි.

සරත් නන්ද සිල්වා සිය පෙත්සමේ දෙවැනි වගඋත්තරකරු ලෙස කථානායක කරු ජයසුරියමහතා නම් කිරීම පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් බවද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126, 17, 10, 11, 12, 13, 14 ව්‍යවස්ථා මඟින් ආරක්ෂා කර ඇති මූලික අයිතීන් උල්ලංඝනය ක් බවද පෙත්සම බැලූ බැල්මටම විභාග නොකර නිශ්ප්‍රභ කිරීමට එම ‍‍දෝෂය පමණක් ප්‍රමාණවත් බවද සඳහන් කර ඇත.

ජනතා පරමාධිපත්‍යයේ එක් කුළුණක් වන ව්‍යවස්ථාදායකය සතු නීති පැනවීමේ බලය සරත් නන්ද සිල්වා මහතාගේ පෙත්සමින් අභියෝගයට ලක් කිරීම දෝෂ සහිත නීතිය නොමග යවන සුළු වැරදි සහගත ක්‍රියාවක් බවද සඳහන් කර ඇත.

නීතිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදී ඇති බලතල ව්‍යවස්ථාදායකයේ බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන කෙරෙහි නිසි අවධානයක් නොකර හුදු තාක්ෂණික කරුණු මත පමණක් මූලික අයිතිවාසිකම් පෙත්සම පවරා ඇති බව පෙන්වා දෙන අරුණ ලක්සිරි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මහජනතාවගේ පරමාධිපත්‍ය බලය නියෝජනය කිරීමට පටහැනිව පෙත්සම ගොනු කර ඇති බවද කරුණු දක්වා ඇත.

කථානායකවරයා සිය අත්සන තබමින් මේ වන විටත් නීතියක් බවට පත්කර ඇති 2017 අංක 17 දරණ පළාත් සභා ඡන්ද විමසීමේ (සංශෝධන) පනත අනුව ක්‍රියා නොකර 1988 අංක 02 දරණ පළාත් සභා මැතිවරණ පනත අනුව ඡන්දය පැවැත්වීමට නියෝගයක් කරන ලෙස ඉල්ලීම බරපතල ලෙස නීතිය උල්ලංඝනය කිරීමක් බවත් ශ්‍රේෂ්ඨාධිකරණ බලය මඟින් අවලංගු වී ඇති නීතියක් වලංගු කර ගැනීමට නීතිය නොමඟ යැවිමක් බවත් දක්වා ඇත.

සරත් නන්ද සිල්වා මහතාගේ පෙත්සම විභාග කළහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම ව්‍යවස්ථා අතර ගැටීමක්, නීතිමය ගැටීමක්, අධිකරණයේ අර්බුදයක්, ඒ තුළින් නීතිමය අර්බුදයක් රටේ උද්ගත වන බවත් ඒ අනුව ජනතා පරමාධිපත්‍ය නිරූපණය කරන විධායකය ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර පවතින සමතුලිතතාව බිඳවැටී බලවත් ලෙස යුක්තිය අපගමනය වීමක් සිදුවන බව පෙන්වා දෙන අරුණ ලක්සිරි නීතිඥවරයා අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම නිශ්ප්‍රභ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

RSL

Related Posts