දේශපාලනඥයින්ගේ සහ ජාවාරම්කරුවන්ගේ අවශ්‍යතා මත රටේ ජනතාවගේ ජීවිත බිල්ලට!

Spread the love

සල්ලි තියෙන සුළු ජාවාරම්කරුවන් කණ්ඩායමකගේ සහ දේශපාලනඥයින් ටිකකගේ අවශ්‍යතා මත අපේ රටේ ජනතාවගේ ජීවිතත් නිදහස් අධ්‍යාපන ආයතනත් දණ ගැස්වීමේ උත්සහය පරාජයට පත් කරන බවත් සයිටම් ආයතනය නීත්‍යානුකූල කිරීමෙන් ලංකාවේ අධ්‍යාපනයේ ප‍්‍රමිතිය ඛාදනය කිරීමට ඉඩ නොදෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (01) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුව අමතමිණනි.

එම මාධය හමුව සඳහා සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය මහතාද සහභාගී වී සිටි අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බිමල් රත්නායක මහතා…

“සයිටම් ආයතනයේ වෛද්‍ය ශිෂ්‍යාවක් විසින් ගොනු කරන ලද නඩුවකට අදාළව අභියාචනාධිකරණය විසින් තීන්දුවක් ලබාදී තිබෙනවා, සයිටම් ආයතනයේ සිසුන් වෛද්‍ය වෘත්තිකයින් ලෙස ලියාපදිංචි කරන්න කියලා. මෙම නඩුවේ තීන්දුව සයිටම් ආයතනයට වාසිදායක තීන්දුවක් වන බව බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් හිටියා. මොකද, සෞඛ්‍ය අමාත්‍යාංශයත් හිටියේ සයිටම් එක පැත්තේ. ඒ නිසා මේ නඩු තීන්දුව ගැන පුදුමයක් නැහැ. පැමිණිල්ලත් විත්තියත් එක පැත්තේ හිටපු නඩුවක්.

ශිෂ්‍යාව නඩුවට කරුණු කියා තිබුණේ සයිටම් උපාධිය 1978 විශ්වවිද්‍යාල පනතට අනුව ලැබෙන උපාධියට සමාන උපාධික මට්ටමේ තිබෙන බව පදනම් කරගෙනයි. මේ නඩුව ගොනුකර තිබුණේ සෞඛ්‍ය ඇමතිවරයාට එරෙහිවයි. නමුත් සෞඛ්‍ය ඇමතිවරයා ප‍්‍රසිද්ධියේ තමන්ගේ මතය කියා තිබුණා. පසුගිය 27වැනිදා පාර්ලිමේන්තුවේදී අමාත්‍යාංශයේ තීරණය දැනුම් දුන්නා. එම තීරණය වුණේ සයිටම් ආයතනය නීතිගත කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශය කැමතියි කියලා. මේ නඩුවේදී විවාදයක් තිබුණේ නැහැ. පැමිණිල්ලේ පාර්ශ්වයත් විත්ති පාර්ශ්වයත් එකට වැඩ කරපු නඩුවක්. සාමාන්‍යයෙන් නඩුවක් විභාග වන්නේ පැමිණිලි පාර්ශ්වයේත් විත්ති පාර්ශ්වයේත් ඉදිරිපත්වන කරුණු පදනම් කරගෙනයි. ඉදිරිපත් වන කරුණු මත තමයි උසාවිය තීන්දුවක් ලබා දෙන්නේ. දිගින් දිගටම රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයත් දන්ත වෛද්‍යවරුන්ගේ සංගමයත් ඇතුළු ආයතන 13ක් මෙම නඩුවේදී රජයේ පාර්ශ්වකරුවන් වීමට ඉල්ලා සිටියා. නමුත් කුමන හෝ කරුණු මත අමාත්‍යංශය ඊට ඉඩ දුන්නේ නැහැ. අන්තිමේදී ඇමතිවරයා වෙනුවෙන් කරුණු දැක්වීමට වෛද්‍ය සභාවට සිදුවුණා. මෙහිදී පැහැදිළිවම පෙනෙන කරුණක් වුණේ සයිටම් ආයතනයත් සෞඛ්‍ය ඇමතිත් එකට එකතු වෙලා මේ නඩුව දැම්මා කියන එක. උසාවියට තීන්දුවක් ලබා දෙන්න අයිතියක් තිබෙනවා. නමුත් ජනතා විමුක්ති පෙරමුණ ලෙස මෙම නඩු තීන්දුවේ හරයට එකඟ වෙන්නේ නැහැ.

රජයේ ආයතනයකට තමන් සතු බලතල අනුව අධ්‍යාපනයේ තත්වය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන්න අයිතියක් තිබෙනවා. ආණ්ඩුව ඒ අයිතිය පිළිගන්නේ නැත්නම් ඒක ඉතා බරපතළ තත්වයක්. කොතලාවල ආරක්‍ෂක විද්‍යා පීඨය පටන් ගත්තේ යුද හමුදාවට අවශ්‍ය කරන වෛද්‍යවරු, ඉංජිනේරුවරු බිහිකර ගන්නයි. ඒ අනුව එම විද්‍යා පීඨයට යම් අඩු ලකුණු මට්ටමක් සහිතව සිසුන් බඳවා ගත්තා. පහුගිය කාලයේ ගෝඨාභය රාජපක්‍ෂ මැදිහත් වෙලා කොතලාවල විද්‍යා පීඨයෙන් හැම උපාධියක්ම විකුණන තත්වයට පත් කළා. එහි ප‍්‍රමිතියේ ප‍්‍රශ්නයක් තියෙනවා. දැන් කොතලාවල විද්‍යා පීඨයේ පිටත සිසුන් ප‍්‍රමාණය වැඩිවෙලා තිබෙනවා. මේ වනවිට කොතලාවල විද්‍යා පීඨයේ නීති පීඨයේ සිසුන් කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ සිසුන්ට තිබෙන සම අවස්ථාවන් ඉල්ලා සිටිනවා. නමුත් නීති අධ්‍යාපන සභාව විසින් එයට ඉඩ දෙන්නේ නැහැ. නීති අධ්‍යාපනයේ සභාව තමයි නීති අධ්‍යාපනයේ තත්වය තීරණය කරන්නේ.

ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යාලවල ප‍්‍රමිතිය තීරණය කිරීම සඳහා පීඨාධිපතිවරු සහිත ආයතනයක් තිබෙනවා. ඒ වගේම වෛද්‍යවරුන්ගේ වෘත්තීයේ ප‍්‍රමිතිය හොයලා බලන්න ශ්‍රී ලංකා වෛද්‍ය සභාව කටයුතු කරනවා. ඒ නිසා කාටවත් තමන් වෛද්‍යවරයෙක් යැයි කියා ගන්න පුළුවන්කමක් නැහැ. උසාවි තීන්දු මගින් අපේ රටේ කාට හෝ වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්ද? එහෙම වෙන්න පුළුවන් නම් අපේ රටේ ක්‍රිකට් කණ්ඩායමට නඩු තීන්දුවක් මගින් පුද්ගලයෙක් ඇතුල් කරන්න පුළුවන් වෙනවා. නමුත් එහෙම කරන්නේ නැහැ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයෙක් ඇතුල් වීමට ක‍්‍රමවේදයක් තිබෙනවා.

රටටත්, දෙමව්පියන්ටත්, ළමයින්ටත් බොරු කරපු දූෂිත ආයතනයකට නීත්‍යානුකූලභාවය ලබාදීමට නඩු තීන්දුවක් ලබා දී තිබෙනවා. ඒක වැරදියි. අපේ රටේ සෞඛ්‍ය ඇමතිවරයා මෙම ආයතනයට නීත්‍යානුකූලභාවය ලබාදිය යුතුයි කියලා කිව්වා. එම ආයතනයෙන් උපාධිය ගන්නා සිසුන්ට වෛද්‍යවරයෙක් ලෙස වැඩ කිරීමට තබා එම ආයතනයෙන් උපාධිය ලබා දෙන්නවත් නීත්‍යානුකූල අයිතියක් නැහැ. මේ නඩු තීන්දුව සම්බන්ධයෙන් උසාවියට හරිහැටි කරුණු වාර්තා වෙලා නැහැ. වෛද්‍ය සභාව කියලා තිබුණා මේ සම්බන්ධයෙන් අභියාචනයක් ගොනු කරනවා කියලා. එම නිසා වෛද්‍ය සභාව දැන් අභියාචනයක් ගොනුකළ යුතුව තිබෙනවා. මොකද මෙය දේශපාලන ප‍්‍රශ්නයක් නොව වෘත්තීමය ගැටලුවක්. අධ්‍යාපනයේ තත්වය තීරණය කිරීමට ඒ සම්බන්ධව නිපුණත්වයක් තිබෙන ආයතනවලට අයිතිය තිබෙනවා. ඒ වගේම අපේ රටේ සිසුන්ට, වෛද්‍යවරුන්ට, ආචාර්යවරුන්ට මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමේ අයිතියක් තිබෙනවා.

නඩු තීන්දුව නිසා සයිටම් ආයතනයට හෙට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය දෙන්න පුළුවන්කමක් නැහැ. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති කාලෝ ෆොන්සේකා මහතා කියපු ආකාරයට අභියාචනයක් ගොණු කරනවා නම් ශ්‍රෙෂ්ඨාධිකරණයේ එය විභාග වෙලා තීන්දුවක් එනතුරු ලියාපදිංචි කිරීමේ හැකියාවක් නැහැ. ඒ වගේම කාලෝ ෆොන්සේකා මහතා කියා තිබුණා, නඩු තීන්දුව කුමක් වුණත් සයිටම් ආයතනයට වෛද්‍ය සභාවේ ලියාපංදිංචි වීමේ කිසිදු ලේඛනයකට වෛද්‍ය සභාව අත්සන් තබන්නේ නැහැ කියලා. ඒ නිසා සෞඛ්‍ය ඇමතිවරයාට සිදුවන්නේ මේ වෛද්‍ය සභාව විසුරුවා හැරලා නව වෛද්‍ය සභාවක් පත්කර ගන්නයි.

රාජපක්‍ෂ ආණ්ඩුව කාලයේ දේශපාලන බලය පාවිච්චි කරලා ගෙනාපු දූෂිත ආයතනයකට දැන් ලයිසන් එකක් දීලා තියෙනවා. මේක වැරදි තීන්දුවක්. ඒ වැරදි තීන්දුවට වගකිව යුත්තේ මෛත්‍රීපාල ආණ්ඩුවයි. මේ ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමතිවරයාගේ පුතාගේ බිරිඳත් සයිටම් ආයතනයේ ඉගෙන ගන්නවා. ඊ.පී.ඩී.පී. පක්‍ෂයේත් ජ.වි.පෙ.ත් හැර පාර්ලිමේන්තුවේ ඉන්න අනෙකුත් දේශපාලන පක්‍ෂවල මනත්‍රීවරුන්ගේ දරුවන්, ඥාතීන් සයිටම් එකේ ඉගෙන ගන්නවා. අපිට ඒ සිසුන් සමඟ පෞද්ගලික ප‍්‍රශ්නයක් නැහැ. මෙතන තිබෙන්නේ අධ්‍යාපන ප‍්‍රතිපත්ති සම්බන්ධ ප‍්‍රශ්නයක්. සයිටම් ආයතනය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ විකෘති වාර්තා හැදුවා. පාර්ලිමේන්තුවේ කමිටුවකින් කුමන කරුණක් සම්බන්ධයෙන් වුවත් වාර්තාවක් හදනවා නම් ඒ සඳහා සෑම පාර්ශ්වයකගේම අදහස් විමසන්න ඕන. නමුත් සයිටම් ආයතනය සම්බන්ධයෙන් සකස් කළ පාර්ලිමේන්තුවේ අනුකාරක සභාව වාර්තාවට අධ්‍යාපනය අදාළ පාර්ශ්වවලින් අදහස් විමසුවේ නැහැ. ශිෂ්‍යයින්, දන්ත වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, පීඨාධිපතිවරුන්, පාර්ලිමේන්තුවට කැඳෙව්වේ නැහැ. ඒ පාර්ලිමේන්තු අනුකාරක සභාවේ ක්ෂේත‍්‍රය පිළිබඳ ප‍්‍රවීණයින් හිටියේ නැහැ. වැස්සකට හරි වෛද්‍ය විද්‍යාලයකට ගිහින් හිටියේ සෞඛ්‍ය ඇමතිවරයාගේ පුත් චතුර සේනාරත්න පමණයි. වෘත්තිකයින් නැතුව තමයි එම වාර්තාව හදලා තිබුණේ. කතානායකවරයා පවා කිව්වා එම වාර්තාව තවදුරටත් සාකච්ඡාවට බඳුන් විය යුතුයි කියලා.

මේ නඩු තීන්දුවේ පුදුමයක් නැහැ. එම තීන්දුව මත සයිටම් ආයතනයේ සිසුන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෙන්නේ නැහැ. ලියාපදිංචි වීමට නම් වෛද්‍ය සභාව අනුමත කළ යුතුයි. එය සිදුවෙන්නේ වෛද්‍ය සභාව ඉදිරිපත් කරන අභියාචනයෙන් පසුවයි. සමහරු නඩු තීන්දුවෙන් පසුව මේ ගැන කතා කරන්න පටන් අරගෙන තිබෙනවා. මෛත්‍රී ආණ්ඩුවත් සෞඛ්‍ය ඇමතිවරයාත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට එරෙහිව වැඩ කරන්න පටන් අරගෙන තිබෙනවා. ඒකෙන්ම තේරෙනවා ආණ්ඩුවත් සයිටම් ආයතනයත් අතර තිබෙන සම්බන්ධය. ජනාධිපතිවරයාට අයිතියක් නැහැ මෙම ආයතනයට නීත්‍යානුකූලභාවය ලබා දෙන්න. මොකද, මෛත්‍රීපාල මහත්තයා සෞඛ්‍ය ඇමතිවරයාව සිටියදී හදපු වාර්තාවක් තිබෙනවා, කිසිසේත්ම සයිටම් ආයතනයට නීත්‍යානුකූලභාවයක් ලබා නොදිය යුතුයි කියලා.

එනිසා මෙම සයිටම් ආයතනයට නීත්‍යානුකුලභාවය ලබාදීමට එරෙහිව සටන ඉදිරියට ගෙනියනවා. ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි සියලුම පාර්ශ්ව සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. කිසිසේත්ම මෙම දූෂිත ආයතනය නීත්‍යානකූල කරන්න ඉඩ දෙන්නේ නැහැ. අනෙකුත් කාරණා සම්බන්ධයෙන් දේශපාලන පක්‍ෂවල බොහෝ මතවාද තිබුණත් මෙම ප‍්‍රශ්නයේදී බොහෝ දේශපාලන පක්‍ෂවල පුද්ගලයින් සයිටම් ආයතනයට නීත්‍යානුකූලභාවය ලබා නොදිය යුතුයි කියන මතයේ ඉන්නවා. මෙම තීන්දුව අධ්‍යාපනයේ ප‍්‍රමිතිය කා දමන තීන්දුවක්. අපේ රටේ හෙදියන් ඉන්නවා උසස් පෙළින් ඒ සාමාර්ථයක් සහ බී සාමාර්ථ දෙකක් ලබාගෙන එම වෘත්තීයට ආපු අය. එවැනි හෙදියක් එස් තුන ගත්තු වෛද්‍යවරයෙක් යැයි කියාගන්නා පුද්ගලයෙකුගෙන් උපදෙස් ලබාගන්න සූදානම් නැහැ. ලංකාවේ අධ්‍යාපන ආයතනයක ප‍්‍රතිසාධන මට්ටමක් නැති කවුරු හෝ පුද්ගලයෙකුට තමන් ‘ඩොක්ටර් කෙනෙක්’ යැයි කියාගන්න පුළුවන්කමක් නැහැ. සල්ලි තියෙන සුළු කණ්ඩායමකුත් දේශපාලනඥයින් ටිකකුත් අපේ රටේ අධ්‍යාපන ආයතන දණ ගස්වන්න හදනවා. ඒක කරන්න ජනතා විමුක්ති පෙරමුණ ඉඩ දෙන්නේ නැහැ.

මේ ආණ්ඩුවෙන් මෙම දූෂිත ආයතනය අහෝසි නොකළොත් 2020 බල පෙරළියේදී එම ආයතනය අහෝසි කිරීම ප‍්‍රධාන සටන් පාඨයක් වෙනවා අනිවාර්යයි. නෙවිල් ප‍්‍රනාන්දුගේත් එස්. බී. ගේත් ලණු කාලා සයිටම් ආයතනයට සිසුන් බන්දපු දෙමව්පියන් අද විඳවනවා. එම දෙමව්පියන් අද සයිටම් ආයතනයට සාප කරනවා. එස්.බී.ගේ පොර ටෝක්වලට රැවටිලා දෙමව්පියනුත් දරුවනුත් අද දුක් විඳිනවා. උසාවියේ සීල් එක ගහලා නීත්‍යානුකූලභාවය දුන්නා කියලා සයිටම් එකට ළමයින් දාන්න සූදානම් වෙන්න එපා කියලා අපි දෙමව්පියන්ට කියනවා. මොකද මෙම ආයතනය අනිවාර්යයෙන් අහෝසි කරන ආයතනයක් නිසා. 2009 සිට සයිටම් එක සම්බන්ධයෙන් නිකුත් කළ සෑම වාර්තාවකම ප‍්‍රධාන කාරණයක් තිබුණා. ඒ තමයි ආයතනයට සිසුන් බඳවා ගැනීම වහාම නතර කරන්න කියන එක. නමුත් ඒක නතර කළේ නැහැ. එදා එස්.බීගේ කතාවලට රැවටුණා වගේ අද කිරිඇල්ලගේ, රාජිතගේ ලණු කන්න එපා කියලා අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලනවා. මෙම දූෂිත ආයතනය නීත්‍යානුකුල කිරීමේ උත්සාහය පරාජයට පත්කරන්න අපේ ශිෂ්‍යයන්ට, වෛද්‍යවරුන්ට වගේම සියලුම ජනතාවට අපි ආරාධනය කරනවා.”

මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින්…

“ඇතැම් මාධ්‍යවලට සයිටම් ආයතනය සැලකිය යුතු බලපෑමක් කරනවා. ඒ නිසා ඇතැම් මාධ්‍යවලින් සයිටම් ආයතනය සම්බන්ධ දේවල් සාධාරණ ලෙස වාර්තා වුණේ නැහැ. ඒ වගේම රජයේ සහ පෞද්ගලික මාධ්‍ය ආයතන සයිටම් ආයතනය වෙනුවෙන් ඇතැම් වැඩසටහන් සූදානම් කළා. එක් මාධ්‍ය ආයතනයක සයිටම් සම්බන්ධ සාකච්ඡුාවකට ගෙන්වලා තිබුණේ වර්තමාන අධිකරණ ඇමතිවරයාත් නීතිඥ සංගමයේ සභාපතිවරයා යන දෙදෙනායි. ඔවුන් දෙදෙනාම සයිටම් සම්බන්ධ නඩුවකට නීති උපදෙස් ලබාදී තිබෙනවා. ඒ නිසා මාධ්‍ය ආයතන සතුවත් වගකීමක් තිබෙනවා, තමන් පළ කරන දේවල් හරිද වැරදිදි කියලා සොයා බලන එක.

රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය බිඳ දමන්නේ නැතිව පෞද්ගලික විශ්වවිද්‍යාල ස්ථාපිත කරන්න බැහැ. මොකද, රාජ්‍ය විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් නැතිව පුද්ගලික විශ්වවිද්‍යාල පවත්වාගෙන යන්න බැහැ. රාජ්‍ය විශ්වවිද්‍යාලවලත් ආචාර්යවරුන්ගේ බරපතළ හිඟයක් තිබෙනවා. පුද්ගලික විශ්වවිද්‍යාල කරන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල ආචාර්යවරුන් රු. 50,000ක්-60.000ක් දීලා තමන්ගේ ආයතනයට ගන්න එක. මොරටුව විශ්වවිද්‍යාලයට අවශ්‍ය ආචාර්යවරු 299න් දැන් ඉන්නේ ආචාර්යවරු 60ක් අඩුවෙන්. ආචාර්යවරු අඩුවෙන් තබාගෙන විශ්වවිද්‍යාල පවත්වාගෙන යන්න බැහැ. කිරිඇල්ල ඇමතිවරයා කියන විදිහට බාහිර ආචාර්යවරු යොදාගෙන විශ්වවිද්‍යාල පවත්වාගෙන යන්න බැහැ. දුප්පත් රටවල පෞද්ගලික විශ්වවිද්‍යාල ගොඩනගලා අද අසාර්ථක වෙලා තිබෙනවා. ඉන්දියාවේ වෛද්‍යවරු බිහිවුණාට වෛද්‍ය උපාධිය පිළිගන්නේ නැති තත්වයකට පත්වෙලා. ලංකාවේත් අන්තර් ජාතික පාසැල් කීයක් නම් තිබෙනවාද? ඒවායේ කිසිදු ප‍්‍රමිතියක් නැහැ. විදෙස් රටවල ගුරුවැරුන් නැහැ. ලංකාවේ උසස් පෙළ සමත් යන්තම් ඉංගී‍්‍රසි කතා කරන්න පුළුවන් තරුණ තරුණියන් තමයි අන්තර් ජාතික පාසැල්වල උගන්වන්නේ. ඔවුන්ගේ වැටුප රු. 16,000 යි. ඒ තරම් පහත් මට්ටමකයි මෙම ආයතන තිබෙන්නේ. ලංකාවේ අධ්‍යාපනය කියන්නේ බ‍්‍රෑන්ඞ් එකක්. නිදහස් අධ්‍යාපනයත් නිදහස් සෞඛ්‍යයත් අපි ගොඩනගාගත් දේපළක් එහි ප‍්‍රමිතිය ඛාදනය කරන්න ඉඩ දෙන්න බැහැ.

කැම්පස් එකට යන්න එක ලකුණක් අඩු අයට සයිටම් එකට යන්න පුළුවන්කමක් නැහැ. මෙතන තිබෙන්නේ වෙන ප‍්‍රශ්නයක්. 2005 සිට 2017 දක්වා එකම විශ්වවිද්‍යාලයක්වත් ආණ්ඩුවෙන් හදලා නැහැ. රාජපක්‍ෂලා හොරකම් කරන්න හරි වරායක් හැදුවා. වහලා තියන්න හරි ගුවන් තොටුපොළක් හැදුවා. හරකුන්ට තණකොල කන්න හරි පිට්ටනි හැදුවා. ඒත් විශ්වවිද්‍යාලයක් හැදුවේ නැහැ. කාලයත් එක්ක රටේ අධ්‍යාපනය පුළුල් කරන්න විශ්වවිද්‍යාල හදන්න ඕනෑ. අද කිලිනොච්චියෙන් පවා බී. තුනක් ගත්ත ළමයින් විශ්වවිද්‍යාලයට එනවා. දක්‍ෂ ළමයින් ඉද්දී එස්. තුන ගන්න ළමයින්ට වෛද්‍ය උපාධි දෙන්න ඕන වෙන්නේ නැහැ. ඒක වෛද්‍ය හිඟයට උත්තරයක් නෙවෙයි. ඒක හරියට සංගක්කාරලා, මහේලලා ඉද්දී දහම් පාසැල් ටීම් දාලා ක්‍රිකට් ගහනවා වගේ වැඩක්. ආණ්ඩුව කළ යුත්තේ විශ්වවිද්‍යාල පුළුල් කරන එකයි. ආණ්ඩුව ඒක කරලා නැහැ. පෞද්ගලික විශ්වවිද්‍යාල තිබෙන ඉතා ධනවත් රටවල්වල පවා ළමුන් බඳවා ගන්නේ මුදල් මත නොව සුදුසුකම් මතයි. එම පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ළමුන් බඳවා ගැනීමේ අදාළල විභාගයෙන් උපරිම ලකුණු මට්ටම් තිබෙන අය තමයි එම විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නේ සුදුසුකම් මත තෝරා ගන්නා ඇතැම් ළමුන් ශිෂ්‍යත්වවලට ඉගෙන ගන්නා අතර අනෙක් ළමුන් මුදල් ගෙවා අධ්‍යාපනය ලබනවා. බඳවා ගැනීමේ ප‍්‍රධාන සාධකය වෙන්නේ අධ්‍යාපන මට්ටමයි.

ලංකාවේ විදේශ විනිමය නතර කරන්න පෞද්ගලික විශ්වවිද්‍යාල ගොඩනගන්නේ නැතිව කරන්න ඕන තරම් දේවල් තිබෙනවා. අපේ රටේ විශ්වවිද්‍යාල ආරම්භ කළොත් වැඩි අවස්ථාවක් හදලා දුන්නොත් ළමයි ඉගෙන ගන්න පිටරට යන්නේ නැහැ. මොකද, ගොඩක් දෙමව්පියන් කැමතියි තමන්ගේ ළමයි තමන්ගේ රටේ තබාගෙන උගන්වන්න. පහුගිය කාලයේ ආණ්ඩුව වාහනයක් තියෙන මන්ත්‍රීවරුන් 58කට වාහන ගේන්න මුදල් වෙන් කළා. ඒවත් විදේශ විනිමය තමයි. අපේ රටේ බැඳුම්කර වංචාව නිසා අහිමි වුණු මුදල්වලින් වෛද්‍ය විද්‍යාල පහක් ආරම්භ කරන්න තිබුණා. මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට්වලට වියදම් කරන මුදලින් එක පීඨයක් නඩත්තු කරන්න පුළුවන්. ඒ නිසා මේ රටේ විදේශ විනිමය ඉතිරි කරගන්න ඕනතරම් දේවල් කරන්න පුළුවන්.
අපේ රටෙන් සැලකිය යුතු පිරිසක් අධ්‍යාපනය ලබලා පිටරට රැකියාවලට යනවා. ආණ්ඩුව ඔවුන් සමඟ ගිවිසුමකට පැමිණිය යුතුව තිබෙනවා. ලංකාවේ මුදලින් ආධ්‍යපනය ලබලා අඩුම තරමේ වසර 5ක් හෝ රටේ සේවය කළ යුතුයි කියලා. ඒ වගේම රට අත්හැර යනවිට යම් මුදලක් ආණ්ඩුවට ගෙවිය යුතුයි කියලා නීතියක් හදන්න පුළුවන්. බොහෝ රටවල ඒ දේ කරනවා. අපේ රටේ ආචාර්යවරුන් විදෙස් ගත වෙන එක වළක්වන්න නම් අනිවාර්යයෙන් ඔවුන්ට පඩි වැඩි කළ යුතුව තිබෙනවා. ඔවුන්ගේ වැටුප් අඩු නිසයි සයිටම් වගේ කඩවල් රු. 50,000ක් වැඩිපුර දීලා ආචාර්යවරුන් තමන් ළඟට ගන්නේ. ඒ නිසා අපේ රටේ අධ්‍යාපනය දියුණු එකක් බවට පත්කළ යුතුව තිබෙනවා. සයිටම් එක ගැන කතා කරන සෞඛ්‍ය ඇමතිවරයෙකුයි, අධ්‍යාපන ඇමතිවරයෙකුයි මේ කිසි දෙයක් ගැන අවබෝධයක් නැති ගල් පිළිමයක් වගේ ඉන්න ජනාධිපතිවරයෙකුයි එක්ක වැදගත් සංවාදයක් කරන්න පුළුවන් කියලා අපි නම් හිතන්නේ නැහැ.”

RSL

Related Posts