මංගලගේ නොහැකියාව ජනතාවගේ බොක්කට නොවෙයි උණ්ඩුකපුච්චයටම දැනිලා

Spread the love

යහපාලන රජයේ වත්මන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ මුල්‍ය සහ ආර්ථික කළමනාකරණයේ ඇති නොහැකියාව සහ අසමත්කම මේ වන විට රටේ ජනතාවගේ බොක්කට නොව උණ්ඩුකපුච්චයටම දැනී ඇති අතර එය විදවමින් පසුවෙති.

මීට පෙර රුපියල මෙතරම් මස්තබාල්දු වූ යුගයක් තිබුණා නම් ඒ පිළිබඳ ප්‍රකාශ කරන්නැයි එජාපයේ ඕනෑම ආර්ථික ඔස්තාර්වරයකුට අභියෝග කරන බවත්, ඩොලරයේ අගය වසර 4ක් තුළ රු. 33කින් වැඩි කරමින් යහපාලන ආණ්ඩුව නව වාර්තාවක් තබා ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඊයේ (9දා) පුංචි බොරැල්ල, වජිරාශ්‍රමයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු වැඩිදුරටත් මෙසේද කීය.

නිදහසින් පසු ශ්‍රී ලංකා ඉතිහාසයේ ගමන්මඟ තුළ අවුරුදු හතරකට අඩු කාල පරිච්ඡේදයක් තුළ රුපියල කඩා වැටීම ගැන ආණ්ඩුව ඓතිහාසික වාර්තාවක් තියලා තියෙනවා.ඇමෙරිකානු ඩොලරයක අගය රුපියල් 164 දක්වා පසුගිය සතියේ වැඩි වුණා. මහින්ද රාජපක්ෂ මහතා 2005 රට භාරගන්නා විට ඇමෙරිකානු ඩොලරයට ගෙවූ මිල රුපියල් 105යි. ඔහු රට පාලනය කළ දශකය තුළම ඩොලරය වැඩි වුණේ රුපියල් 26කින් පමණයි. මේ ආණ්ඩුවට රට භාරදුන්නේ ඩොලරයේ අගය රුපියල් 131ක්. මේ වන විට ඩොලරයට ගෙවන මුදල රුපියල් 164 දක්වා වැඩි වෙලා තිබෙනවා. මේ වැඩ බැරි ආණ්ඩුවේ අයහපත් ආර්ථික කළමනාකාරිත්වයේ ප්‍රතිඵලයක් ලෙස තමයි මේ ඩොලරයේ විකුණුම් මිල වැඩිවෙලා තිබෙන්නේ. එසේ ඩොලරයට ගෙවිය යුතු මුදල කෙටි කාල සීමාවක් තුළ වැඩි කිරීමෙන් මේ ආණ්ඩුව වාර්තාවක් තියලා තියෙන්නේ.

අවුරුදු 4ක් තුළ රු. 33ක් වැඩිපුර ගෙවන්න වෙලා තිබෙනවා. මේ තියෙන්නේ වැඩ බැරි ආණ්ඩුවක් කියලා ඔප්පු කරන්න මීට වැඩිය දර්ශකයන් ලෝකයේ නැහැ. ආර්ථික ස්ථායිත්වය කරා යොමු වෙන්න බැරි ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව පත්වෙලා තිබෙනවා. මේ රුපියල කඩාවැටීමක් නෙවෙයි මස්තබාල්දු වීමක්.

ඩොලරයේ අගය ඉහළ යෑම ජනතාවගේ බොක්කට පමණක් නෙවෙයි උණ්ඩුකපුච්චයටත් දැනිලා තිබෙන්නේ. ජීවන වියදමේ අර්බුදය නූල කැඩුණ සරුංගලයක් වගේ ඉහළ යනවා. ජීවත් වෙන්න අරගල කරන ජනතාවට සහනයක් දෙන්න ආණ්ඩුවට හැකියාවක් නැහැ, රුපියල දිගින් දිගටම කඩාවැටීම නිසා. මොන දේවල් කළත් මේ පරම සත්‍යයෙන් මිදෙන්න ආණ්ඩුවට බැහැ.

මේ තත්ත්වයත් සමඟ සිදුවන භයානකම දේ තමයි සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් මිලදී ගන්නා අමුද්‍රව්‍යවල මිල වැඩි වීම. උදාහරණයක් ලෙස රෙදි පිළි කර්මාන්තය ගත්තොත් ආනයනය කළ රෙදි ටික නිදහස් කරගන්න ඩොලරයකට රු. 164 ගාණේ ගෙවන්න වෙනවා. ඊට අමතරව අගෝස්තු 16 වැනිදා සිට 15%ක වැට් බද්දකුත් ගෙවන්න වෙනවා. මේක හරියට ගහෙන් වැටුණ මිනිහට ගොන්නු 5ක් ඇන්නා වගේ වැඩක්. රෙදි ටික නිදහස් කරගන්න මේ වන විට කලින් ගෙවීමට වැඩිය ලක්ෂ 20-25ක් වැඩිපුර ගෙවන්න වෙනවා කර්මාන්තකරුවන්ට.

දැව කර්මාන්තකරුවන්ට ඇති වෙලා තිබෙන්නේත් මේ අර්බුදයමයි.
පරිසර ඇමැතිවරයා වන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එල්ල බලා පහරදීම සඳහා මෙම බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරලා තිබෙන බවයි අපට හිතෙන්නේ. මේ බදු පනත මඟින් කරලා තිබෙන්නේ දැව කර්මාන්තකරුවන්ගේ ජීවනෝපාය අහිමි කිරීම. මේ ආණ්ඩුව දවසින් දවස කරන්නේ ජනතාව පාරට ඇද දැමීමයි. කර්මාන්ත එකින් එක විනාශ කරලා තියෙනවා, එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා කියලා. එන්ටප්‍රයිස් නෙවෙයි ෆ්‍රයිඩ්රයිස් ශ්‍රී ලංකා වෙන්නේ මේ ආකාරයට ගියොත් ඔක්කෝම කාලා ඉවර වුණාම.

රට සම්පූර්ණයෙන්ම විනාශ වන තත්ත්වයක් ඇතිවන්නේ. ඒ වගේම තමයි සැප්තැම්බර් 05 සාමකාමී උද්ඝෝෂණයකට පැමිණි ජනතාවට වස මිශ්‍ර කළ කිරි පැකට් දෙන්න කටයුතු කිරීම ගැන ජාත්‍යන්තරයත් කතා වෙනවා. ලංකා ඉතිහාසයේ කිසිම දවසක විරෝධතාකරුවන්ට වස දීලා මරන්න හදපු බවක් වාර්තා වන්නේ නැහැ. ඒකත් දීලා තියෙන්නේ රජයේ මිල්කෝ ආයතනයේ හයිලන්ඩ් කිරි පැකට්වලට දාලා. මෙවැනි කුමන්ත්‍රණ කරන රටක මේ වර්ෂය අවසන් වීමට කලින් ඩොලරය රුපියල් 200ක් දක්වා ඉහළ යනවා.

ආශ්‍රිත පුවත්: යහපාලනයේ ආර්ථිකය අනන මංගලගෙන් එන රෙද්දෙ බද්ද සහ එන්ටප්‍රියිසස් ශ්‍රී ලංකා

RSL

Related Posts