හිටපු මෙගා පොලිස් අමාත්‍ය පාඨලීට ඇප; පොලිසිය නීතිපතිටත් පිටින් ගිහින් අධිකරණයට තොරතුරු වාර්තා කර ඇතිබවට හෙළිවෙයි..!

Spread the love

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ ඇතිවූ රිය අනතුරු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය අද(24) නියම කළේය.

ඒ අනුව සැකකාර චම්පික රණවක මහතා රුපියල් 25000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස නියම කළ මහෙස්ත්‍රාත් වරිය සෑම මසකම අවසන් ඉරු දින පෙරවරු 9ත් 12ත් අතර කොළඹ අපරාධ කොට්ඨාශයට වාර්තා කළ යුතු බවටද නියම කළේය.

සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙස ද මහෙස්ත්‍රාත් විසින් කළ අප නියෝගයේ සඳහන් විය.

ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරිය සඳහන් කර තිබුණේ එම සැකකරු අත්අඩංගුවට ගැනීමේදී නීතිපතිවරයා විසින් පොදු දේපොළ පනත යටතේ අත්අඩංගුවට ගතයුතු බවට උපදෙස් ලබාදී නොමැති බවයි.

සැකකරු විසින් සිදුකළ රිය අනතුර තුළින් රජයේ දෙපළක් වන ජීප් රථයකට රුපියල් 917244/- ක අලාභයක් සිදුව ඇති බවට සඳහන් කරමින් පොදු දේපළ පනත යටතේ අධිකරණයට කරුණු වාර්තාකර තිබුණද නීතිපතිවරයාගේ උපදෙස් වලින් තොරව පොලිසිය විසින් මෙම නඩුවට අදාළ බී වාර්තාවට පොදු දේපල පනත ඇතුලත් කර ඇති බවද මහේස්ත්‍රාත්වරිය නියෝග පෙන්වා දුන්නේය.

ඒ අනුව ඇප ප්‍රතික්ෂේප කිරීමට තරම් කිසිදු කරුණක් අනාවරණය නොවන හෙයින් සැකකාර චම්පික රණවක මහතා ඇප මත මුදා හරින බව මහේස්ත්‍රාත්වරිය ගේ නියෝගයේ සඳහන් කළේය.

RSL

Related Posts