සා/පෙ ගණිත ප්‍රශ්න පත්‍රයට විභාග කොමසාරිස් පිළිතුරු දෙයි

Spread the love

මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමේ දී සිසුන්ට දුෂ්කරතා මතු වූ බව පවසමින් ඇතැම් දේශපාලනඥයින් සහ වෘත්තීය සමිති නියෝජිතයන් ගෙන ගිය ප්‍රකාශ සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පිළිතුරු ලබාදී තිබේ.

මතු වූ තත්වය පිළිබඳ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් සිදුකළ කරුණු විමසීමකට අදාළ ව, විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් ලබාදුන් පිළිතුරෙහි සංක්ෂිප්තය ඒ අනුව පහත දැක්වේ.

“මෙවර අ.පො.ස සා පෙළ විභාගයේ ගණිත ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමේ දී සිසුන්ට දුෂ්කරතා මතු වූ බවක් ඇතැම් මාධ්‍යවලින් අනාවරණය කර තිබුණි. මෙම තත්වය යටතේ සිසුන්ට සාධාරණයක් ඉටු කිරීමේ අපේක්ෂාවෙන් මේ පිළිබඳ අදාළ ප්‍රශ්න පත්‍ර සැකසුම් මණ්ඩලය සමඟ ප්‍රධාන පරීක්ෂකවරුන් සහ පාසල්වල ගණිතය විෂයය උගන්වනු ලබන ගුරුවරුන් ඇතුළු ව 20ක් පමණ වූ කණ්ඩායමක් සමඟ සමාලෝචනයක් කරන ලදී.

විභාගයක් අවසානයේ දී සිදුකරනු ලබන පාලක උත්තර පත්‍ර ලකුණු කිරීමේ වැඩසටහන යටතේ මෙවැන්නක් සෑම විෂයයක් සඳහා ම යොදාගනු ලැබේ. මෙහි දී උත්තර පත්‍ර සාම්පලයක් පරීක්ෂා කිරීම ද සිදුවේ. ඒ අනුව ගණිතය විෂයය සඳහා වැඩි උත්තර පත්‍ර සංඛ්‍යාවක්, සාම්පලයක් ලෙස ලබාගෙන පරීක්ෂාවට ලක්කරන ලදී. මෙහි දී අනාවරණය වූයේ මෙම ප්‍රශ්න පත්‍රයේ අපේක්ෂකයන්ට සමත් ලකුණු ලබාගැනීමට දුෂ්කර වී ඇතැයි නිගමනය නොවන බවයි.
එහෙත් ප්‍රශ්න කිහිපයක අවසාන කොටස් පමණක්, හේතු දැක්වීම සහ ගැටළු විසඳීම වැනි ඉහළ මට්ටමේ කුසලතා පාදක කොට සකස් වී ඇති බැවින් ඇතැම් සිසුන්ට එම ප්‍රශ්නවලට සම්පූර්ණ ලකුණු ලබාගැනීම තරමක් දුෂ්කර වීමට ඉඩ ඇති නමුත්, ඉහත තත්වය යටතේ ලකුණු දීමේ පටිපාටියේ අවශ්‍ය සංශෝධන සිදුකර සිසුන්ට අසාධාරණයක් නොවන පරිදි උත්තර පත්‍ර ඇගයීම් ක්‍රියාවලිය සිදුකිරීමට පියවර ගෙන ඇත.”

-බී සනත් පූජිත-
-විභාග කොමසාරිස් ජනරාල්-

RSL

Related Posts