මෙවර අ.පො.ස (සා/පෙළ) විභාගයට අයැදුම්කරුවෝ 688,573 ක්

Spread the love

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා මධ්‍යස්‌ථාන 5116 කදී අද (12) ආරම්භ කෙරේ.

නව හා පැරණි නිර්දේශ වශයෙන් පැවැත්වෙන මෙම විභාගය සඳහා අයෑදුම්කරුවෝ හය ලක්‌ෂ අසූ අට දහස්‌ පන්සිය හැත්තෑතුන් දෙනෙක්‌ පෙනී සිටිති. නව නිර්දේශය යටතේ පෙනී සිටින සංඛ්‍යාව 514200 ක්‌ වන අතර පැරණි නිර්දේශය යටතේ 174373 දෙනෙක්‌ පෙනී සිටිති. පාසල් අයෑදුම්කරුවන් සංඛ්‍යාව 429493 කි. විභාගයට පෙනී සිටින පෞද්ගලික අයෑදුම්කරුවන් සංඛ්‍යාව 259080 කි.

විභාගය අධීක්‌ෂණය සඳහා විශේෂ වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කරන බව විභාග කොමසාරිස්‌ ජනරාල් සනත් පූජිත මහතා පවසයි. ස්‌මාර්ට්‌ අත්ඔරලෝසු, ජංගම දුරකථන මෙන්ම විද්‍යුත් උපකරණ භාවිත කරමින් වංචා සිදු කරන්නේ ද යන්න ගැන විශේෂ අවධානය යොමු කරන බව ද ඒ මහතා කීවේය. එවැනි වංචා සිදු කරන අයෑදුම්කරුවන්ට වසර පහක විභාග තහනමක්‌ පනවන බවද මෙවර විභාගයේ ප්‍රතිඵලත් අවලංගු කරන බවද විභාග කොමසාරිස්‌ ජනරාල්වරයා සඳහන් කළේය.

විභාගය පැවැත්වෙන අවස්‌ථාවේ දී බාහිර පාර්ශ්වයන්ගෙන් අයෑදුම්කරුවන්ට කිසියම් බාධාවක්‌ සිදු වන්නේ නම් ඒ බව විභාග දෙපාර්තමේන්තුවට හෝ පොලිස්‌ මූලස්‌ථානයට දැනුම් දෙන ලෙස ශාලාධිපතිවරුන්ට දැනුම් දී ඇත.

විභාගය සම්බන්ධ විමසීම් හෝ ඒ සඳහා විභාග දෙපාර්තමේන්තුවේ පැමිණිලි 1911, 0112784208, 0113188350, හෝ පොලිස්‌ මූලස්‌ථානයේ 0112421111 යන දුරකථන අංකවලට අමතන ලෙස ඉල්ලීමක්‌ කෙරේ.

RSL

Related Posts