පාර්ලිමේන්තු බලය දුර්වල කොට ඒකීය රාජ්‍යය ෆෙඩරල් කරන නව ව්‍යවස්ථාව ගැන මහින්දගෙන් නිල ප්‍රකාශයක් (වීඩියෝ)

Spread the love

පාර්ලිමේන්තුවේ බලය දුර්වල කර පළාත් සභා ශක්තිමත් කරන අලූත් ව්‍යවස්ථා කෙටුම්පතෙන් ඒකීය රාජ්‍යය ෆෙඩරල් රාජ්‍යයක් බවට පරිවර්තනය වන නිසා ඊට දැඩි ලෙස විරුද්ධ වන බව විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

පසුගියදා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සම්පාදක සභාව ඉදිරියේ ව්‍යවස්ථාවක කෙටුම්පතක් හැටියට සකස් කර තිබූ පිටු 187ක වර්තාවක් අගමැතිවරයා සභාගත කළේය. ඉන් පසු ‘ව්‍යවස්ථාවකුත් නෑ ව්‍යවස්ථා කෙටුම්පතකුත් නෑ’ කියමින් ඔහු රට වටේ යන ආකාරය අපි දුටුවෙමු. එවැන්නක් කියන අතරම අලූත් ව්‍යවස්ථාවක් යටතේ ලංකාව බෙදිය නොහැකි එක්සත් රටක් හැටියට පවතින බවත්, බුදු දහමට තිබුණු තැන වෙනස් නොවන බවත්, අගමැතිවරයාත්, එක්සත් ජාතික පක්ෂයේ වෙනත් ඇමතිවරුත් කියයි. රටේ පවතින කෘෂිකාර්මික පළිබෝධ උවදුරත්, ණය උගුල ඇතුළු අනේකවිධ අර්බුද මධ්‍යයේ නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් කෙරෙන මේ හොරගල් ඇහිලීම ගැන අපි කවුරුත් අවධානයෙන් සිටිය යුතුය.

වර්තමාන පාලකයන් 2015 බලයට පැමිණෙන විට ජනතාවට දුන් ව්‍යවස්ථාමය පොරොන්දු දෙක වූයේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමත්, ස්ථාවර පාර්ලිමේන්තු ආණ්ඩු පිහිටුවීමට හැකිවන ආකාරයට මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීමත් පමණි. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට මේ කෙටුම්තේ විධිවිධාන තිබේ. අපි එයට විරුද්ධ නොවෙමු. නමුත් මෙහි යෝජනා කර තිබෙන නව මැතිවරණ ක‍්‍රමය 2017 දී පළාත් පාලන ආයතන හා පළාත් සභාවලට හඳුන්වාදුන් ආකාරයේ ‘පූර්ණ සමානුපාතික’ මැතිවරණ ක‍්‍රමයකි. ඒ මැතිවරණ ක‍්‍රමය ගෙන ඒමට 2017 කටයුතු කළ අයම දැන් එය ප‍්‍රතික්ෂේප කර ඇත. ස්ථාවර ආණ්ඩු ඇතිවන ආකාරයට මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීමට නම් හඳුන්වා දිය යුත්තේ දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් පිහිටවනු ලැබූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් යෝජනා කළ 70% ක් කේවල ආසන හා 30% ක් සමානුපාතික ක‍්‍රමයට මන්ත‍්‍රීවරුන් තෝරා පත් කෙරෙන ‘දෙමුහුන්’ ඡුන්ද ක‍්‍රමයයි. එම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඒ දෙමුහුන් මැතිවරණ ක‍්‍රමය යෝජනා කළේ, 2002 සිට 2007 දක්වා එජාප සහ එජනිස ආණ්ඩු දෙකක් යටතේ අවුරුදු ගණනාවක් මුළුල්ලේ කරනු ලැබූ අධ්‍යයනයකින් පසුවය.

පාර්ලිමේන්තුව දරුණු ලෙස දුර්වල කර පළාත් ව්‍යවස්ථාදායකයන් විශාල වශයෙන් බලවත් කිරීමට අලූත් ව්‍යවස්ථා කෙටුම්පතේ යෝජනා ඇත. පළාත් සභාවලට අයිති විෂයන් ගැන පාර්ලිමේන්තුවෙන් නීති සෑදීමට නම් හැම පළාත් සභාවක්ම එයට එකඟ විය යුතු වේ. එක පළාත් සභාවක් හෝ එම නීතියට විරුද්ධ වුවහොත් එය සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය මෙන්ම ජනමත විචාරණයක්ද අවශ්‍ය වේ. නමුත් ඒ ආකාරයට සම්මත කරනු ලැබූ නීතියක් වුවද ඕනෑම පළාත් සභාවකට ඕනෑම වෙලාවක සරල බහුතරයකින් සම්මත කරන පනතකින් අහෝසි කර දැමිය හැක. (කෙටුම්පතේ 132 ෙඡ්දය*. පාර්ලිමේන්තුවේ බලය ඒ ආකාරයට සීමා කළ විට ඒකීය රාජ්‍යය ෆෙඩරල් රාජ්‍යයක් බවට පරිවර්තනය වේ. අපි එයට සම්පූර්ණයෙන්ම විරුද්ධ වෙමු.

සමගාමී ලැයිස්තුවට අයිති විෂයන් ගැන පාර්ලිමේන්තුව නීති සෑදීමට නම් සියලූම පළාත් සභාවල එකඟත්වය ලබාගත යුතු වේ (134 ෙඡ්දය*. එවන් එකඟතාවක් ලබාගන්නවාද නැද්ද යන්න ගැන තීරණය කිරීමට වත්මන් ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවට හිමි බලය එයින් අහෝසි වනු ඇත. පාර්ලිමේන්තුව විසින් නීතියක් සම්මත කළ පසුත් අලූත් ව්‍යවස්ථාවෙන් පිහිටුවීමට යෝජනා කර තිබෙන ව්‍යවස්ථාමය උසාවියට ඒ නීතිය අවලංගු කළ හැක. එයින් පාර්ලිමේන්තුවේ බලය තවත් හීන වේ (182-ඇ සහ 185 ෙඡ්ද). මේ ඉදිරිපත් කර තිබෙන ව්‍යවස්ථා කෙටුම්පතේ පළාත් සභා බලතල ලැයිස්තුවක් ගැනත් සමගාමී බලතල ලැයිස්තුවක් ගැනත් මධ්‍යම ආණ්ඩුවේ බලතල ලැයිතුවක් ගැනත් සඳහන් වුවද ඒ ලැයිස්තු අපේ වර්තමාන ව්‍යවස්ථාවේ තිබෙන ලැයිස්තුද නැත්නම් වෙනස් ඒවාද යන්න සඳහන් කර නැත.

මේ අලූත් ව්‍යවස්ථා කෙටුම්පතත් සමඟ කිසිදු ප‍්‍රයෝජනයක් නැති තොරතුරු අඩංගු ලියවිලි මිටි ගණන් සභාගත කෙරුවද වැදගත්ම කාරණයක් වන මේ බලතල ලැයිස්තු ඉදිරිපත් කර නැත. අලූත් ව්‍යවස්ථා යෝජනා වලට අනුව, මධ්‍යම ආණ්ඩුවේ නියෝජිතයා වන ආණ්ඩුකාරවරයාට පළාතේ මහ ඇමති යටතේ කටයුතු කිරීමට සිදුවේ. වත්මන් ව්‍යවස්ථාවේ විධිවිධාන වලට හාත්පසින්ම වෙනස්ව පළාතේ විධායක බලය ඇත්තේ මහ ඇමතිවරයාට මිස ආණ්ඩුකාරවරයාට නොවන බවට සඳහන්ව තිබීමෙන්ද මේ යෝජනාවල ෆෙඩරල්වාදී නැඹුරුව තවත් පැහැදිලි වේ (242 ෙඡ්දය*.

පොලිස් සේවය ජාතික පොලිස් සේවයක් සහ පළාත්බද පොලිස් සේවාවන් 09 කට කඩා ඒ හැම එකටම වෙන වෙනම පොලිස් කොමිසම් ඇති කිරීමටත් මෙහි විධි විධාන ඇත. ජාතික පොලිස් සේවයට අයිති වන්නේ රාජ්‍ය විරෝධී කටයුතු, මැතිවරණ සම්බන්ධ වැරදි, හොර මුදල් අච්චු ගැසීම වැනි නම්කරනු ලැබූ කාරණා කිහිපයක් පමණි. අනෙක් සියලූම එදිනෙදා පොලිස් කටයුතු, එනම් අපරාධ, වංචා, මත්ද්‍රව්‍ය, රථ වාහන, මහජන සාමය වැනි කරුණු අයිති වන්නේ පළාත්බද පොලීසි වලටය. (254, 259, හා 284 වන ෙඡ්ද* මේ ආකාරයට පොලීසිය කොටස් කිහිපයකට කැඞීමෙන් පමණක් මේ රට ඉවර කර දැමිය හැක. 13 වන සංශෝධනයේ කුමක් තිබුණත් අවුරුදු 30ක් මුළුල්ලේ කිසිම ආණ්ඩුවක් පොලිසිය කෑලි දහයකට වෙන් නොකළේ ඒ නිසාය.

අලූත් යෝජනා යටතේ, වර්තමානයේ මධ්‍යම ආණ්ඩුවට අයත් විෂයන් සඳහා භාවිතාවන ඉඩම් හැරුන විට සෙසු සියලූම රජයේ ඉඩම් අයත් වන්නේ පළාත් සභාවලටය. මධ්‍යම ආණ්ඩුවට එවන් රජයේ ඉඩමක් අවශ්‍ය වුවහොත්, එය අදාළ පළාත් සභාවෙන් ඉල්ලා සිටිය හැක. පළාත් සභාව ඒ ඉඩම නොදී සිටියහොත් එම දුක් ගැනවිල්ල ත‍්‍රිපුද්ගල බේරුම් කරන කමිටුවකට යොමු වේ. එම කමිටුවේ තීන්දුව ගැන සෑහීමකට පත්නොවන්නේ නම් මධ්‍යම ආණ්ඩුවට ව්‍යවස්ථාමය උසාවියට ඒ ඉඩම ඉල්ලා පෙත්සමක් ඉදිරිපත් කළ හැක. ජාතික ආරක්ෂාවට සම්බන්ධ කාරණයකට මධ්‍යම ආණ්ඩුව රජයේ ඉඩමක් පවරාගත්තත් අදාළ පළාත් සභාවට ව්‍යවස්ථාමය අධිකරණය වෙත ඒ පවරා ගැනීමට විරුද්ධව පෙත්සමක් ඉදිරිපත් කළ හැක (302, 307 සහ 308 ෙඡ්ද*.

අලූත් ව්‍යවස්ථා යෝජනාවලට අනුව මධ්‍යම ආණ්ඩුවෙන් හදිසි නීතිය ප‍්‍රකාශ කළත් එයට විරුද්ධව අධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර වාරණයක් ලබාගත හැක. මාස තුනකට වැඩි කාලයකට නැත්නම් දින 180 ක කාලයක් ඇතුළත දින 90 කට වඩා හදිසි නීති තත්ත්වයක් පවත්වාගෙන යෑමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් අවශ්‍ය වේ (290-5, 291- ඈ, 292 ෙඡ්ද*. එයින් ප‍්‍රායෝගිකව සිද්ධවන්නේ හදිසි තත්වයකටවත් මධ්‍යම ආණ්ඩුවට සුදුසු ආකාරයට ප‍්‍රතිචාර දැක්වීමට නොහැකි වීමයි. හදිසි නීතිය ප‍්‍රකාශ කිරීමක් යනු විධායකයේ ක‍්‍රියාවකි. එවන් කාරණා සම්බන්ධයෙන් අධිකරණයට කටයුතු කිරීමට නොහැක. හදිසි නීතිය ප‍්‍රකාශ කිරීමට එරෙහිව වාරණයක් ලබාගත හැකිනම්, හදිසි නීතිය ප‍්‍රකාශ කිරීමෙන්ද පලක් නැත.

උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමට හඳුන්වා දී ඇති විධිවිධාන (237-3 ෙඡ්දය, වර්තමානයේ ශ්‍රේෂ්ඨාධිකරණයට හිමි ව්‍යවස්ථාව සම්බන්ධ අධිකරණ බලය වෙනම ව්‍යවස්ථාමය අධිකරණයකට පැවරීම (181 සිට 191 දක්වා ෙඡ්ද ඇතුළු තවත් ගැටලූ ගණනාවක්ම ඇත. 1983 හයවන සංශෝධනයෙන් වත්මන් ව්‍යවස්ථාවේ 7 වන උපලේඛනය හැටියට ඇතුළත් කරන ලද බෙදුම්වාදයට එරෙහි විශේෂ ප‍්‍රතිඥාව අලූත් ව්‍යවස්ථා කෙටුම්පතේ පෙනෙන්නට නැත. මෙහිදී අප සඳහන් කර ඇත්තේ අලූත් ව්‍යවස්ථා කෙටුම්පතේ අපට එකඟ විය නොහැකි විධිවිධාන කිහිපයක් පමණක් බව සැලකිය යුතුය.

මේ ව්‍යවස්ථා කෙටුම්පතේ පැහැදිලි රටාවක් පෙනෙන්ට තිබේ. එමඟින් පාර්ලිමේන්තුවත් මධ්‍යම ආණ්ඩුවත් හැකි තරම් දුර්වල කරනු ලැබේ. පළාත් සභා හැකි තරම් බල සම්පන්න කරනු ලැබේ. ආණ්ඩුකාරවරුන් මහ ඇමතිවරුන්ට යටත් කරනු ලැබේ. සෑම පළාත් සභාවකටම වෙන වෙනම සන්නද්ධ පොලිස් සේවාවන් ඇති කරනු ලැබේ. පළාත් සභා වලට අයත් බලතල මොනවාද, මධ්‍යම ආණ්ඩුවට අයත් බලතල මොනවාද යන්න දැන්මම ප‍්‍රකාශයට පත් නොකර, පසුව නියම කර ගැනීමට ඉඩ ඉතුරු කරනු ලැබේ. අවශ්‍ය අවස්ථාවල හදිසි නීතියවත් ප‍්‍රකාශ කිරීමට බැරි තත්වයක් ඇති කරනු ලැබේ. මේ සියල්ලම කුමන අරමුණකින් කරනවාද යන්න කාටත් පැහැදිලි විය යුතුය.

අද රට පාලනය කරන එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය ඇතුළු හවුල නීති සම්පාදනය කිරීමේදී දක්වා ඇති වංචා සහගත ප‍්‍රවේශය නිසා ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය බරපතළ ලෙස පළුදුවී ඇත. ඔවුන් ජනතාවත් ශ්‍රේෂ්ඨාධිකරණයත් නොමඟ හැරීම සඳහාම 19 වන සංශෝධනය තුළින් හිස් වගන්ති ව්‍යවස්ථාවට ඇතුළත් කළ ආකාරය කවුරුත් දනී. සම්පූර්ණයෙන්ම වෙනත් කාරණා සඳහා ඉදිරිපත් කර තිබුණු පනත් කෙටුම්පත් දෙකකට පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී ගෙන එනු ලැබූ සංශෝධන වලින් පළාත් පාලන මැතිවරණ ක‍්‍රමයත් පළාත් සභා මැතිවරණ ක‍්‍රමයත් පස්සා දොරින් වෙනස් කළ ආකාරය කවුරුත් දනී. 2016 අගෝස්තු මාසයේදී විවාදයක්වත්, හරිහමන් ඡුන්දයක්වත් නොපවත්වා පාර්ලිමේන්තුවේ ගාලගෝට්ටියක් මැද මේ ආණ්ඩුව අතුරුදහන් වූවන්ගේ කාර්යාල පනත සම්මත කරගත්හැටි කවුරුත් දනී.

මේ ආණ්ඩුවේ කපටිකම් වලට සීමාවක් නැත. ව්‍යවස්ථා කෙටුම්පත ඉදිරිපත් කළ පසු ඔවුන් කතා කරන්නේ බුද්ධාගමට හිමි තැන ගැනත් ‘ඒකීය’ යන වචනය ගැනත් පමණය. අපට ලබා දී ඇති කෙටුම්පතේ මේ කාරණා දෙකම සම්බන්ධයෙන් විකල්ප වගන්ති යෝජනා කර ඇත. අප මෙතනදී පරීක්ෂාකාරී විය යුතුය. බෙදුම්වාදීන්ටයි ෆෙඩරල්වාදීන්ටයි වැදගත් වන්නේ නමවත්, වචනයවත් නොවේ. ඔවුනට අවශ්‍ය දේ ලැබෙනවා නම්, නම කුමක් වුවත් ඔවුනට ප‍්‍රශ්නයක් නැත. මේ පිරිස සැබවින්ම ඉලක්ක කරගෙන සිටින්නේ ඒකීය කියන වචනයවත් බුදු දහමවත් නොවේ. රටේ ඒකීය භාවය ගැනත් බුදු දහම ගැනත් ඉදිරිපත් කර තිබෙන විකල්ප වගන්ති කේවල් කිරීමේ උපක‍්‍රමයක් ලෙස ඔවුන් විසින්ම ඉල්ලා අස් කරගෙන බොරු නම්‍යශීලී බවක් පෙන්වා මේ ව්‍යවස්ථා කෙටුම්පතේ හරය වන ෆෙඩරල් පාලන ක‍්‍රමය දිනා ගැනීමට ඔවුන් උත්සාහ කිරීමට ඉඩ ඇත.

විශේෂයෙන්ම මහා සංඝරත්නය මේ උප්පරවැට්ටි ගැන අවබෝධයෙන් සිටිය යුතු යැයි මම ගෞරවයෙන් ඉල්ලා සිටිමි. වර්තමාන ව්‍යවස්ථාවේ බුද්ධාගමට මුල් තැන දී තිබියදීත්, මේ ආණ්ඩුව භික්ෂුන් වහන්සේලා මර්දනය කළ ආකාරය අපි දුටුවෙමු. මේ නිසා ඒකීය ලේබලය එලෙසම තිබියදී ඔවුන්ට රට ෆෙඩරල් කළ හැක. මේ රටේ දමිළ ජනතාවගෙන් බහුතරය ජීවත් වන්නේ උතුරු නැෙඟනහිර පළාත්වලින් පිටය. මුස්ලිම් ජනතාවගෙන් අති බහුතරය ජීවත්වන්නේ නැගෙනහිර පළාතෙන් පිටය. මේ වගේ රටකට අලූත් ව්‍යවස්ථාවක් සෑදිය යුත්තේ ඒ යථාර්ථයත් හිතේ තබාගෙනය.

වර්තමාන ආණ්ඩුව ගෙනවිත් තිබෙන මේ ව්‍යවස්ථා කෙටුම්පතට විරුද්ධ වීම යනු සියලූම ව්‍යවස්ථා සංශෝධනවලට විරුද්ධ වීම නොවන බවද අපි පැහැදිලිව කිව යුතුය. වර්තමාන ව්‍යවස්ථාවේ පුළුල් වෙනස්කම් සිදු විය යුතු බව අපි පිළිගනිමු. 19 වන සංශෝධනය නිසා පමණක් මොන තරම් අවුලක් ඇති වී තිබෙනවාද? ඇතැම් දේශපාලන පක්ෂවලට තිබෙන බෙදුම්වාදී නැත්නම් ෆෙඩරල්වාදී අදහස් අපි ප‍්‍රතික්ෂේප කරන අතරම ඒ ඒ ප‍්‍රාදේශීය ජන සමාජයන්වලට යම් කිසි ජාතික රාමුවක් තුළ තමන්ගේ කටයුතු සම්බන්ධයෙන් ක‍්‍රියා කිරීමට හැකියාවක් තිබිය යුතු බවත් අපි පිළිගනිමු. ඊළඟ ජාතික ඡුන්දයේදී ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් අපේම යෝජනා ඉදිරිපත් කර ඒ වෙනුවෙන් ජනතාවගෙන් වරමක් ලබාගැනීමට අපි බලාපොරොත්තු වෙමු. අපගේ එම උත්සාහයට සහයෝගය දෙන මෙන් මම ජනතාවගෙන් මෙන්ම සියලූම දේශපාලන පක්ෂ වලින්ද මේ අවස්ථාවේදී ඉල්ලා සිටිමි.

RSL

Related Posts