ජනාධිපතිවරණයට එජාපයෙන් පමණයි; පිට අයට ඉඩ නැහැ – එජාපය තීරණයකට

Spread the love

රනිල් වික්‍රමසිංහ මහතා අනිවාර්යෙන්ම ඊළඟ එජාප ජනපති අපේක්ෂකයා විය යුතු යැයි එජාප ජේ‍යෂ්ඨයන් පිරිසකගේ ස්ථාවරය වී තිබේ.

වසර 25ක පමණ කාලයක් එජාපයේ නායකයා ලෙස කටයුතු කළද 1999 – 2005 ජනාධිපතිවරණවලට තරග කර වික්‍රමසිංහ පරාජයට පත්විය.

මේ වන විට ජනපතිවරණයට ඉදිරිපත් වී ජය ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට හොඳ අවස්ථාවක් හිමිවී තිබෙන බවත් අත්දැකීම් සහිත පළපුරුදු නායකයා ඊට ඉදිරිපත් කිරීම වඩාත් යෝග්‍ය බවද ඔවුහු කියා සිටිති. පක්ෂයෙන් පිට සිටින අය ජනාධිපති පුටුවට පත් කිරීම මෙතැනින් නිම කළ යුතු බවත් අලුත් අලුත් අත්හදා බැලීම් කිරීමද අනවශ්‍ය බවද ඔවුහු කියා සිටිති.

2005 සහ 2015 ජනාධිපතිවරණවලදී තම අවස්ථාව අහිමි කර ගනිමින් ජනාධිපති පොදු අපේක්ෂකයකුට එම අවස්ථා දෙක පිරිනැමුවද මෙවර පක්ෂ නායකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රණය කර එම අභියෝගය ජයගත යුතුව ඇතැයිද ඔවුන් පෙන්වා දී තිබේ.

එජාප ජනාධිපති අපේක්ෂකත්වයට එක එක අයගේ නම් යෝජනා කර ඵලක් නොමැති බවත් සිංහල, දෙමළ, මුස්ලිම් යන සියලු ජාතීන්ගේ සහ සියලු ආගම් නියෝජනය කරමින් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සිටින සුදුසුම අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා යැයිද ඔවුන් පෙන්වා දී ඇත.

ඊළඟ ජනාධිපතිවරණයට විපක්ෂයෙන් කවුරු ඉදිරිපත් වුවත් සුළු ජාතික ඡන්ද ගොඩ ඒ කිසිවකුට ලබාගත නොහැකි නිසා එජාප ප්‍රමුඛ සන්ධානයක් යටතේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාම ඉදිරිපත් විය යුතු බවද පක්ෂයේ ජේ‍යෂ්ඨයන්ගේ මතය වී ඇත.

එජාප ජනාධිපති අපේක්ෂකයා තෝරන අවස්ථාවක රනිල් වික්‍රමසිංහ මහතාම ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමේ වාසි පෙන්වා දීමට මෙම පිරිස තීරණය කර තිබේ. වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් කර අනවශ්‍ය අවදානමක් නොගෙන පක්ෂයේ නායකයා තම විශ්වාසය තහවුරු කරමින් ජයගත් පසු ශක්තිමත් ආණ්ඩු බලයක් ලබා ගැනීමට එය විශාල රුකුලක් වන බවද පක්ෂ ජේ‍යෂ්ඨයන්ගේ ස්ථාවරය වී තිබේ.

RSL

Related Posts