දැන් පොලිසිය වෙඩි වගේ ක්‍රියාත්මකයි! කෝටි 700 දියමන්ති කොල්ලයේ මධුෂ්ගේ සගයාත් අල්ලයි

Spread the love

කුප්‍රකට පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ උපදෙස් මත පන්නිපිටිය, ඇරැව්වල ප්‍රදේශයේ නිවෙසකට පොලිස් වෙසින් කඩා වැදී රුපියල් කෝටි 700කට අධික වටිනාකමකින් යුත් මැණික් සහ දියමන්ති කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි ප්‍රධාන සැකකරුවකු වන මධුෂ්ගේ සමීපතම ගෝලයකු මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබේ.

රටේ ජනතාව වෙනුවෙන් නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා වූ ශ්‍රී ලංකා පොලිසිය වසර ගණනාවක සිට ඉතා අකාරක්ෂම, දූෂිත ආයතනයක් බවට පත්වෙමින් තිබුණු අතර රටේ අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම්, කප්පම් ගැනීම් ආදී විවිධ ගණයේ අපරාධ සීඝ්‍ර ලෙස ඉහළ යමින් තිබුණු අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා පොලිසිය තමා යටතට ගැනීමෙන් අනතුරුව ඉතා කෙටි කාලයක් තුල ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස ශ්‍රී ලංකා පොලිසිය අපරාධකරුවන්ට සහ ජාවාරම්කරුවන්ට එරෙහිව වෙඩි මෙන් ක්‍රියාත්මක වෙමින් තිබීම සුවිශේෂී කරුණකි.

‘වෙඩිකන්දේ කසුන්’ නමැති මෙම සැකකරු සිද්ධිය වූ ඉකුත් වසරේ නොවැම්බර් 05 වැනි දින ඇරැව්වල කනත්ත අසල තවත් අයකු සමඟ මෝටර් රථයකට වී ඔත්තු බලමින් සිට ඇති බවද පොලිසිය සඳහන් කරයි. ඩුබායිහි සිටින මාකඳුරේ මධුෂ් ඍජුවම මෙම සැකකරුට දුරකථනය ඔස්සේ කතා කරමින් මෙම මහා පරිමාණ මැණික් සහ දියමන්ති කොල්ලය සිදු කර ඇති බවද පොලිසිය පවසයි.

මෙම කොල්ලය සඳහා භාවිත කළ ජංගම දුරකථනයද, සිම් කාඩ්පත්ද පෙලිසිය විසින් සැකකරුගේ වත්තල, හුණුපිටිය, වෙඩිකන්ද පාර ප්‍රදේශයේ පිහිටි නිවෙසේ සඟවා තිබියදී සොයාගෙන ඇත.

මාකඳුරේ මධුෂ් භාවිත කරන දුරකථන අංකයද එම ජංගම දුරකථනයේ ඇති බවත් මධුෂ් සහ සැකකරු අතර අවස්ථා රැසකදී දුරකථන සංවාද සිදුවී ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. මෙම දියමන්තිය සහ මැණික් කොල්ලය සඳහා පොලිස් නිල ඇඳුම්වලින් සැරසුණු හය දෙනකුගෙන් යුතු කල්ලියක් අදාළ නිවෙසට කඩාවැදී කොල්ලය සිදු කර පලාගොස් තිබිණි.

කොල්ලයට සූදානම් වී ඔත්තු බලමින් එම කල්ලිය මෙහෙයවීමටද වෙඩිකන්දේ කසුන් එදින ක්‍රියා කර ඇති බවද සඳහන් වේ.

තමන් මෙම කොල්ලය සඳහා පැමිණියේ මධුෂ්ගේ කීමට බවද ඔහු පොලිසිය හමුවේ පාපෝච්චාරණය කර ඇත.

මීට අදාළව කොල්ලකරුවන් දෙදෙනකු කලින් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන්ගේ දුරකථන සංවාද විශ්ලේෂණ ඇසුරෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියා සිටී.
කොල්ලය සිදු වීමට පෙර මධුෂ් විසින් වෙඩිකන්දේ කසුන්ට රුපියල් ලක්ෂ තුනක මුදලක් ලබාදී ඇති බවද විමර්ශනවලදී හෙළිව ඇත.

මෙම දියමන්තිය කැරට් 720ක් වන බැව් පැමිණිලිකරු මහරගම පොලිසියට ප්‍රකාශ කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේය.

තවද මෙම කොල්ලයට පැමිණි කල්ලියේ පොලිස් පරීක්ෂකවරයා ලෙසින් වෙස්වළාගෙන පැමිණි සැකකරු වන අතුරුගිරියේ – ඔරුවල ප්‍රදේශයේ පදිංචි රවීන්ද්‍ර නාලක රණසිංහ හෙවත් ‘ලොකු අයියා’ ඉකුත් නොවැම්බර් 17 වැනි දින මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ඔහුගේ ජංගම දුරකථනයේ තිබී දියමන්තියේ ඡායාරූප සහිත වීඩියෝවක්ද පොලිසිය මඟින් සොයාගෙන ඇති අතර දියමන්තියේ විස්තර ‘ඉමෝ’ තාක්ෂණය හරහා සැකකරු මාකඳුරේ මධුෂ්ට දන්වා ඇති බවද හෙතෙම කියා සිටී. ඊට අදාළ හඬ පටද දුරකථනයේ තිබී සොයාගෙන තිබේ.

එම ජංගම දුරකථනය මේ වනවිට රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි. මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සෙසු සැකකරු වන්නේ මාතර ප්‍රදේශයේ පදිංචි තුසිත මධුශංඛ හෙවත් මාතර චූටිය.

ඔහුව මෙම ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ ඉකුත් දෙසැම්බර් 01 වැනිදාය.

කොල්ලය සිදුවූ දින නිවෙස් හිමියාටද කොල්ලකරුවන් පහරදී තුවාල සිදුකර තිබූ අතර මැණික් සහ දියමන්ති මිලදී ගැනීමට පැමිණි විදේශිකයකුද විලංගු දමා පැහැර ගෙන ගොස් මහරගම ප්‍රදේශයේදී හැරදමා ගොස් තිබිණි. අත්අඩංගුවට ගත් කිරියාදුරගේ කසුන් ධනංජය (31) හෙවත් වෙඩිකන්දේ කසුන් ඊයේ (19දා) පෙරවරු 10.15ට පමණ කිරිබත්ගොඩ, වෙඩිකන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබිණි.

සැකකරු අද (20) දින හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

බස්නාහිර (දකුණ) භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ, නුගේගොඩ කොට්ඨාස භාර පොලිස් අධිකාරි ප්‍රසාද් රණසිංහ, පොලිස් අධිකාරි සමන් සිගේරා යන මහත්වරුන්ගේ ඍජු අධීක්ෂණය මත මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා මහතාගේ උපදෙස් හා මෙහෙයවීම මත උප පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර, පොලිස් සැරයන්වරුන් වන මෙන්ඩිස් (20553), සුනිල් (56951), ප්‍රසන්න (40248), පොලිස් කොස්තාපල්වරුන් වන ලලන්ත (72337), ගිහාන් (72989), අමිල (77688), සමීර (81600), කුමාර (44762), ප්‍රදීප් (44426) ඇතුළු නිලධාරී කණ්ඩායමක් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඉදිරි විමර්ශන කටයුතු සිදු කරති.

RSL

Related Posts