ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මෙරට දේශපාලන කතිකාව තුළ ප්‍රබල චරිතයකි. මහින්ද රාජපක්ෂ රෙජිමය පළවා හැර සම්මුතිවාදී ආණ්ඩුව බලයට පත් කරන්නට වැර වෑයම් ගත් සිවිල් සමාජ බලයක් සහිත අයෙකි. කෙසේ වෙතත් දැනගන්නට ලැබෙන පරිදි ආණ්ඩුව විසින් ඉන්දියාව සමඟ අත්සන් කරන්න යන නිදහස් වෙළඳ සහ සේවා ගිවිසුම ගැන ඔහු සිටින්නේ ආණ්ඩුව විවේචනය කරන ස්ථාවරයක ය.
පළමු කොටම ඔහු පවසන්නේ මේ ගිවිසුම ගැන ආණ්ඩුව කිසිදු පාර්ශ්වයක් සමඟ අව්‍යාජ සාකච්ඡාවකට එක් නොවීම බරපතල සැක ජනිත කරන්නක් බවයි. මහින්ද ආණ්ඩුව පරාජය කර දැමීමේදී ජනතාව බලාපොරොත්තු වූයේ මෙවැනි බරපතල ගිවිසුම් ආදිය ගැන විවෘත සාකච්ඡාවක් කරන තත්වයක් ඇති කර ගැනීමට හැකි වන රජයක් පත් කර ගැනීමට හැකි වේ යැ යි කියා ඔහු ප්‍රකාශ කරයි.
මේ ගැන සති අන්ත පුවත්පතකට ආචාර්යවරයා දක්වා තිබුණේ මෙවැනි අදහසකි.
“ඉන්දියාවෙ සහ ලංකාවේ ආර්ථිකයන් පිළිබඳ සාමාන්‍ය අවබෝධයක් ඇති කෙනෙකුට වුණත් මෙබඳු ගිවිසුමකින් ලංකාවට අත්විය හැකි වාසි පිළිබඳ බරපතළ සැකයක් ඇතිවෙනව. මම ආර්ථික විශේෂඥයෙක් නොවුණට අපේ රටේ ආර්ථිකය ශක්‌තිමත් ආර්ථිකයක් නොවන බව වැටහෙනව. පසුගිය කාලෙ රාජපක්‌ෂ ආණ්‌ඩුව ආර්ථිකය දියුණු කළා කිව්වට වර්ධනය වුණේ සේවා අංශ සහ ඵලදායිතාවක් නැති අංශ මිසක් ඇත්ත ආර්ථිකය නෙමෙයි. ඒ නිසා මේවගෙ වෙළෙඳ ගිවිසුමකින් වාසි ලබාගන්න තරම් අපට ඉන්දියාවට යවන්න දේවල් නෑ. ලංකාවෙ ශ්‍රම වෙළෙඳපළේ ස්‌වභාවය බැලුවත් මේ වෙනස තිබෙනවා. ලංකාවෙ ශ්‍රමයේ මිල ඉන්දියාවට වඩා ඉහළයි. ලංකාවෙ අධ්‍යාපනය ඉහළ මට්‌ටමක තිබීම එයට එක හේතුවක්. එක අවස්‌ථාවක ඉන්දියාවෙ ලියුම් බෙදීමේ තනතුරට ඉල්ලුම් පත් කැඳවූ අවස්‌ථාවක තනතුරු 350 ක් සඳහා ලැබුණු ලක්‌ෂ ගණනක ඉල්ලුම් පත් අතර ආචාර්ය උපාධි ලද සෑහෙන පිරිසකුත් ඉල්ලුම් කර තිබුණා. එයට හේතුව ඉන්දියාවේ අතිවිශාල ශ්‍රම අතිරික්‌තයක් තිබීමයි. රටක ශ්‍රම අතිරික්‌තයක් ඇති විට ශ්‍රමයේ මිල පහළ යනවා. ලංකාවේ ශ්‍රම අතිරික්‌තය ඉන්දියාවට සාපේක්‌ෂව අඩුයි. ඉතාම ලාබ ශ්‍රමයක් සහිත වගේම ඉතා විශාල ශ්‍රම අතිරික්‌තයක් ඇති රටක් සමග තරග කර ලංකාවට ලබාගත හැකි සාපේක්‌ෂ වාසි අඩුයි. මේවා බරපතළ ප්‍රශ්න. අපේ රටේ වෘත්තිකයො මතුකරන මේ ප්‍රශ්නවලට ආණ්‌ඩුව උත්තර දෙන්න ඕන. දීර්ඝ කාලීන වශයෙන් හෝ වාසියක් ලැබෙනව නම් එවැනි ගිවිසුමකට ගියාට කමක් නෑ. නමුත් එහෙම වෙනවද කියල සාකච්ජා කරන්න එන්න ඕනනෙ. ආණ්‌ඩුව ඒකට කැමැත්තක් නෑ. දැන් මේ වෙළෙද ගිවිසුමට ලංකාවෙන් බරපතළ විරෝධයක් මතුවුණාට ඉන්දියාවෙන් කිසි විරෝධයක් නෑනෙ. ඒ ඇයි? මේව ගැනත් අපි හිතන්න ඕන. සාමාන්‍යයෙන් විරෝධතාවලට සහභාගි නොවන පිරිස් වගේම අපේ රටේ සාමාන්‍යයෙන් තිබෙනව ඉන්දීය විරෝධයට සහය නොදක්‌වන කණ්‌ඩායමුත් මේ ගිවිසුමට විරුද්ධව නැගී සිටිනව. අපේ රටේ ඉන්න එවැනි අයත් මේ ගිවිසුමට විරුද්ධ වෙන්නෙ ඇයි? මෙන්න මේ ප්‍රශ්නවලට මේ ගිවිසුම වෙනුවෙන් පෙනී ඉන්න ආණ්‌ඩුවේ අය උත්තර දෙන්න ඕන.”
උපුටා ගැනීම – දිවයින ඉරිදා සංග්‍රහය