තවත් ජාතික ඛේදවාචකයක් නිමාවෙමින් තිබේ..

Spread the love

පසුගිය යුගයේ ජාතික ඛේදවාචකයක් බවට පත්ව තිබූ වකුගඩු රෝගය නිවාරණය වෙනුවෙන් ගෙන ගිය පුළුල් වැඩපිළිවෙළ හේතුවෙන් පසුගිය වසර දෙක තුළ වකුගඩු රෝගින්ගේ ව්‍යාප්තියේ අඩුවක් දක්නට ලැබෙන බව ජනාධිපතිවරයා පවසයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ ජාතික වකුගඩු අරමුදලේ රුපියල් මිලියන 628ක මූල්‍ය ප‍්‍රතිපාදන උපයෝගි කරගනිමින් මහනුවර මහ රෝහලට අනුබද්ධිත ව ඉදිකරන ලද වකුගඩු රෝග සහන සත්කාරක හා සුබසාධන මධ්‍යස්ථානය ඊයේ (25) ජනතා අයිතියට පවරාදීමෙන් අනතුරුව ගැටඹේ කි‍්‍රඩාංගණයේ පැවති ජන හමුව අමතමිනි.

රජයේ කිසිදු මුදලක් වැය නොකරමින් පූර්ණ ලෙසම ජාතික වකුගඩු අරමුදලේ ප‍්‍රතිපාදන මත මෙම මධ්‍යස්ථානය ඉදිකර තිබීම විශේෂත්වයකි.

මෙරට වකුගඩු රෝගින් වෙනුවෙන් සුවිශේෂ මෙහෙවරක් ඉටුකළ විශේෂඥ වෛද්‍ය තිලක් අබේසේකර මහතාගේ නමින් මෙම මධ්‍යස්ථානය නම් කිරීමට ජනාධිපතිතුමා කටයුතු කර තිබේ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ ප‍්‍රතිකාර අංශ ශක්තිමත් කිරීම මෙන් ම රෝග නිවාරණ සහ වැළැක්වීම පිළිබඳව ද විශේෂ අවධානයක් යොමුකර වැඩසටහන් කි‍්‍රයාත්මක කළ යුතු බවයි. එහිදී භෞතික මෙන්ම මානව සම්පත් ද එක ලෙස සංවර්ධනය කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එමෙන් ම ජනාධිපතිවරයා මෙහිදී බලධාරින්ට උපදෙස් දුන්නේ වකුගඩු රෝගින් වෙනුවෙන් රජය ලබාදෙන දීමනාව එම රෝගයෙන් පීඩා විදින සෑම පුද්ගලයෙකුට ම ලබාදීම අත්‍යවශ්‍ය බවයි.

ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් පුථල් කරමින් මෙම රෝගයෙන් වැළකී සිටීම පිළිබඳ නිවැරදි භාවිතයන් ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයට එක් කර ගැනීමට හුරු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.

සත් මහල් වකුගඩු රෝග සහන මධ්‍යස්ථානය රුධිර කාන්දුකරණ ඒකකයකින් සහ රෝගි ජනතාවට නේවාසික පහසුකම් සැපයීමේ නේවාසිකාගාරයකින් සමන්විත ය.

දිනකට වකුගඩු රෝගීන් 150 කට පමණ රුධිර කාන්දුකරණය කිරීමේ පහසුකම්, වකුගඩු රෝගින් පෙර හඳුනාගැනීමේ සායන හා පරික්ෂණ පහසුකම්, වකුගඩු රෝගින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා නවාතැන් පහසුකම්, වකුගඩු රෝගින් හා අනෙකුත් අවශ්‍යතා ඇති පිරිස් සඳහා උපදේශන සේවාවන් පැවැත්වීමේ පහසුකම් මෙන් ම වකුගඩු රෝග නිවාරණයට අදාළ පර්යේෂණ පහසුකම්, වකුගඩු රෝගීන් සදහා අනෙකුත් ප‍්‍රතිකාර හා පරික්ෂණ කටයුතු සිදුකිරීමට පහසුකම් ද මෙහි සලසා තිබේ.

පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්වන සමයේ තම ප‍්‍රචාරක කටයුතු වෙනුවෙන් ලද අරමුදල් උපයෝගි කරගනිමින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් ස්ථාපිත කරන ලද ජාතික වකුගඩු අරමුදල මේ වන විට දෙස් විදෙස් දානපතීන්ගේ ආධාර මත ශක්තිමත් අරමුදලක් බවට පත්ව ඇත.

අදාළ අරමුදලේ ප‍්‍රතිපාදන යොදාගනිමින් වකුගඩු රෝගීන්ගේ සුබසාධන කටයුතු, රෝගී ප‍්‍රතිකාර සඳහා අවශ්‍ය යටිතල පහසුම් සම්පාදනය, වකුගඩු රෝගය නිවාරණය සඳහා සහ රෝග මූලය හඳුනාගැනීම සම්බන්ධ ව සිදුකෙරෙන පර්යේෂණ සඳහා දායකත්වය දැක්වීම හා වකුගඩු රෝගී අවදානම් ප‍්‍රදේශ සඳහා පිරිසිදු පානීය ජලය සම්පාදනය ඇතුළු ව්‍යාපෘති රැසක් කි‍්‍රයාත්මක කරමින් පවතී.

ඒ අතර මහනුවර මහ රෝහලට අනුබද්ධිත ව ඉදිකෙරෙන මෙම වකුගඩු රෝගී සහන සත්කාර හා සුබසාධන මධ්‍යස්ථානය සුවිශේෂී ව්‍යාපෘතියක් වන අතර මීට අමතර ව මෙවන් තවත් ව්‍යාපෘති 02ක් අනුරාධපුරයේ හා ගිරිඳුරුකෝට්ටේ ප‍්‍රදේශවල ඉදිකෙරෙමින් පවතී.

අනුරාධපුර වකුගඩු රෝගී සහන සත්කාර හා සුබසාධන මධ්‍යස්ථානය ලබන මාසය වන විට ජනතා අයිතියට පවරාදීමට හැකිවනු ඇති බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

RSL

Related Posts